ගීතාවලිය – 49 වන පරිච්ඡේදය –

වස්තු තණ්හාවේ දුර්විපාක

කෝරාගේ පුත්‍රයන්ට ගීතයකි.
1 සියලු ජාතීනි, මෙය අසන්න;
සියලු ලෝ වැසියෙනි, එක් ව සවන් දෙන්න.
2 ලොකු කුඩා සියල්ලෙනි, දුප්පත් පොහොසත් සියල්ලෙනි, සවන් දෙන්න.
3 මම නැණවත් සිතුවිලි සිතමි;
මම පැණවත් වදන් පවසමි.
4 මම හිතෝපදේශවලට අවධානය යොමු කරමි;
වීණාව වයමින් ඒවායේ විසඳුම පහදා දෙන්නෙමි.
5 අන්තරා කාලවල දී, නපුරු සතුරන් මා සිසාරා සිටින විට,
6 සිය ධන සම්පත් කෙරේ විශ්වාසය තැබූ, සිය වස්තු සම්භාරය නිසා අහංකාර වූ අය මා අවටින් සිටින විට, මම කිසිසේත් බිය නොවන්නෙමි.
7 තම විමුක්තිය තමාට ම සාදා ගත නොහැකි ය;
ජීවිතය සඳහා මිදීමේ මිලය දෙවිඳුන්ට ගෙවීමට ඔහුට නුපුළුවන.
8 මිනිසෙකුගේ ජීවිතය සඳහා ගෙවිය යුතු මිදීමේ මිලය ඉතා විශාල ය;
මිනී වළට යාමෙන් වැළකෙන පිණිසත්,
9 සදා ජීවත් වීමට වරයක් ලබන පිණිසත්, තමා විසින් ගෙවනු ලැබිය හැකි මිලය කිසිසේත් නොසෑහේ.
10 පැණවතුන් මියයන බව ද නූගතුන් හා අනුවණයන් යන දෙගොල්ල ම වැනසෙන බව ද ඔවුන්ගේ ධනය අනුන්ට තබා යන බව ද නොදන්න කෙනෙක් නැත.
11 වරක් ඔවුන්ගේ ම නමින් ගම්බිම් තිබුණ නමුත්, දැන් ඔවුන්ගේ ගෙවල් සදහට ම සොහොන් ගෙවල් වී ඇත.
ඔවුන් එහි සදහට ම වාසය කරනු ඇත.
12 කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය.
ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය.
13 තමා කෙරෙහි ම විශ්වාසය තබන, තම වස්තුවෙන් සෑහීමට පැමිණ සිටින අයගේ ඉරණම එය වේ.
14 ඔවුන් බැටළු රැළක් මෙන් මරණයට නියම වී ඇත;
ඔවුන්ගේ එඬේරා මරණය වී ඇත.
ඔවුන් කෙළින් ම යන්නේ මිනී වළට ය,
ඔවුන්ගේ සිරුරු දිරා යන්නේ ය.
ඔවුන්ගේ නිවාසය පාතාලය වන්නේ ය.
15 එහෙත්, දෙවිඳාණෝ මා මුදාගෙන මරණයේ බලයෙන් මා ගළවන සේක.
16 යමෙකු පොහොසත් වන විට, ඔහුගේ යස ඉසුරු වැඩි වන විට බිය නොවන්න.
17 මියයන විට, ඔහු ඉන් කිසිවක් ගෙනයන්නේ නැත; ඔහුගේ යස ඉසුරු ඔහු කැටුව මිනී වළට නොයනු ඇත.
18 මිනිසෙක් සිය ජීවිත කාලයේ දී තෘප්තියට පත් වී සිටියත්,
තමන් ගැන පුරසාරම් දෙඩුවත්, ඔහුගේ දියුණුව ප්‍රශංසාවට ලක් වූවත්,
19 ඔහු තම මුතුන්මිත්තන් මෙන් මිය යන්නේ ය;
එහි සදහට ම අඳුර පවතින්නේ ය.
20 කොතරම් උසස් මිනිසෙකුට වුව ද මරණින් වැළකිය නොහැකි ය.
ඔහු ද මියයන තිරිසනුන් හා සමාන ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW