ගීතාවලිය – 47 වන පරිච්ඡේදය –

මහීපාල දෙවිඳාණෝ

කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි.
1 සව් සතුනි, අත්පොළසන් දෙන්න;
ජය ගොස නංවා දෙවිඳුන්ට තුති දෙන්න.
2 අති උතුම් සමිඳාණෝ බියකරු ය, මුළු මහ පොළොව කෙරේ අග රජ ය.
3 එතුමාණෝ ජාතීන් පරදා අපට ජය දුන් සේක;
සව් සත කෙරේ අග රජ වන සේක.
4 තම හට ප්‍රිය ජාකොබ්ගේ සෙනඟ වන අප හට මවු බිමක් ලබා දුන් සේක.
5 ජය ගොස නංවා, කාහල හඬ පතුරා, එතුමාණෝ සිහසුන මත නැඟුණ සේක.
6 දෙවි තුමන් හට ගී පසස් නඟන්න.
ගී පසස් නඟන්න.
අපේ නිරිඳු හට ගී පසස් නඟන්න;
ගී පසස් නඟන්න.
7 දෙවිඳාණෝ මුළු දෙරණට නිරිඳාණෝ ය.
එතුමන් හට ගී පැසසුම් ගයන්න.
8 දෙවිඳාණෝ ජාතීන් අතර රජිඳාණෝ ය;
එතුමාණෝ සුවිශුද්ධ සිහසුන් අරා වැඩ සිටින සේක.
9 ජාතීන්ගේ අධිපතීහු, ආබ්‍රහම්ගේ වංශයට අයත් දේව සෙනඟ සමඟ එක් රැස් වන්නෝ ය.
පොළොවේ බලවත් ජාතීහු දෙවි තුමන්ට අයිති ය;
එතුමාණෝ උන් හැම කෙරේ රජකම් කරන සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW