ගීතාවලිය – 46 වන පරිච්ඡේදය –

දෙවිඳාණෝ අප සමඟ ය

කෝරාගේ පුත්‍රයන්ට යි.
1 දෙවිඳාණෝ අපේ ශක්තිය හා සරණ වන සේක;
හැම දා විපතේ දී අප හට පිළිසරණක් වන සේක.
2 මහ පොළොව කම්පා වෙතත්, කඳු වැටි මහ මුහුදට කඩා වැටෙතත්,
3 සත් සමුදුර ගුගුරා කැළඹෙතත්, එයින් නැඟෙන රැළ වේගයෙන් කඳු වැටි සැලෙතත් අපට කිසි විටක බියක් නැත.
4 එක් ගංගාවක් ඇත.
එහි දිය පාරවල් ගලා ගොස්, අපේ උතුම් දෙවිඳුන්ගේ ශුද්ධ මණ්ඩපය වන දෙව් නුවරට සතොස ගෙන දෙයි.
5 දෙවි තුමාණෝ ඒ නුවර වැඩ වසන සේක.
ඊට කිසි දා විපතක් නොවනු ඇත.
දෙවි තුමාණෝ අලුයම් වේලෙහි ඊට පිහිට වන සේක.
6 ජාතීහු කෝලහල කළහ;
රාජධානි බිඳ වැටිණි.
දෙවි තුමාණෝ ගිගුරුම් දුන් සේක.
මහ පොළොව දිය විණි.
7 සව් බලැති සමිඳාණෝ අප සමඟ ය.
ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය.
8 එන්න, සමිඳුන්ගේ වික්‍රම ක්‍රියා බලන්න;
මිහි මත කර ඇති පුදුම ක්‍රියා නරඹන්න.
9 එතුමාණෝ මිහි මත දස දෙස යුද බිය නවත්වන සේක;
දුන්න බිඳ, හෙල්ලය කපා, පලිහ ගින්නෙන් දවන සේක.
10 නිශ්චල වන්න;
මා දෙවිඳුන් බව සිතට ගන්න;
මුළු දෙරණට අග රජ බව, සව් සත හට අග රජ බව වටහාගන්න;
11 සව් බලැති සමිඳාණෝ අප සමඟ ය;
ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW