ගීතාවලිය – 41 වන පරිච්ඡේදය –

රෝගියෙකුගේ අයැදුම
දාවිත්ගේ ගීතයකි.

1 දිළින්දා සලකන්නා ආසිරි ලද්දේ ය. ඔහුගේ විපතින් සමිඳාණෝ ඔහු මුදන සේක.
2 සමිඳාණෝ ඔහු රක්නා සේක;
ඔහුට රැකවරණය දෙන සේක;
මිහි මත ඔහුට ආසිරි දෙන සේක;
සමිඳාණෝ සතුරන් අතට ඔහු පාවා නොදෙන සේක.
3 ලෙඩ ඇඳේ සිටින විට සමිඳාණෝ ඔහුට පිහිට වන සේක;
රෝගාතුර ව සිටින විට සුවය දෙන සේක.
4 ”සමිඳුනි, මට කරුණා කළ මැනව; ඔබට විරුද්ධ ව පව් කෙළෙමි,
මෙමා සුව කළ මැනව”යි මම පවසමි.
5 ”ඔය මිනිසා කවදා මැරේ ද?
කවදා ඔහුගේ නාමය මැකී යන්නේ දැ”යි මාගේ සතුරෝ මා ගැන අවලාද කියති.
6 මා බලන්න එන අය අවංක නැත.
ඔවුහු මා ගැන කිව හැකි නපුරු දේ රැස් කරගනිති;
පිටත ගොස් හැම තැන ම ඒවා පළ කරති.
7 මට වෛර කරන්නෝ මට විරුද්ධ ව රහස් කියති;
මා වැනසීමට රහසින් උපා යොදති.
8 ”අසාධ්‍ය ලෙඩක් ඔහුට වැළඳී ඇත.
කවදාවත් ඇඳෙන් නොබසිනු ඇතැ”යි ඔවුහු පවසති.
9 මාගේ හොඳ ම විශ්වාසය දිනාගත් යහළුවා, එක පිඟානෙන් බත් කෑ කල්‍යාණ මිත්‍රයා පවා මට එරෙහි ව සතුරුකම් කෙළේ ය.
10 මාගේ සතුරන්ට යස පාඩමක් උගන්වන පිණිස සමිඳුනි, මට කරුණා කළ මැනව;
ලෙඩ ඇඳෙන් මා නැඟිටවුව මැනව.
11 ඔවුන්ට ජය අත් නොවන විට ඔබ මා කෙරෙහි ප්‍රිය බව මම දනිමි.
12 මා හරි දේ ඉටු කරන බැවින් ඔබ මට පිහිට වන සේක;
සදහට ම ඔබ අබිමුව මා තබාගන්න සේක.
13 ඉශ්රායෙල් ජනතාවගේ දෙවි සමිඳුන් හට ප්‍රශංසා වේ වා!
සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා!
ආමෙන්, ආමෙන්.

Suba Asna - සුබ අස්න

FREE
VIEW