ගීතාවලිය – 39 වන පරිච්ඡේදය –

කෙටි ජීවිතය ගැන භාවනාව

දාවිත්ගේ ගීතයකි.
1 මම මෙසේ පැවසීමි:
”වචනයෙන් පව් නොකරන පිණිස හැසිරීම ගැන ප්‍රවේසම් වෙමි;
දුදනන් මා අබිමුව සිටිය දී කට රැකගනිමි.”
2 මම වචනයක් වත් නොකීමි;
හොඳ දෙයක් කීමෙන් පවා වැළකුණෙමි.
එහෙත්, මාගේ ශෝකය තවත් උග්‍ර විය;
3 මාගේ සිත කාංසාවෙන් දෙදරා ගියේ ය;
සිතන්න සිතන්න, වැඩි වැඩියෙන් මම කැළඹුණෙමි.
තවත් නිහඬ ව සිටීමට බැරි විට, මෙසේ ප්‍රශ්න නොකිරීමට මට බැරි විය:
4 ”සමිඳුනි, මාගේ අවසානය කවදා එයි ද?
මාගේ ආයු ප්‍රමාණය කොතරම් ද?
මා කොතරම් බෙලහීන දැ යි දැනගැනීමට මට සැලසුව මැනව.”
5 අනේ, ඔබ මාගේ වයස කෙටි කර තිබෙන හැටි!
ඔබ අබිමුව මාගේ ජීවිතයෙන් වැඩක් ඇද් ද?
දිවි ඇති හැම දෙන සුළං රොදක් වැනි ය.
6 හැම මිනිසා ම සෙවණැල්ලක් වැනි ය;
ඔහු කොයි දේ කළත් එය නිෂ්ඵල ය.
ඔහු වස්තු රැස් කරතත්, ඒවා කාට හිමි වේ දැ යි නොදනියි.
7 සමිඳුනි, මට කවර බලාපොරොත්තුවක් ඇද් ද?
මාගේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි ය.
8 මාගේ සියලු පවින් මා මිදුව මැනව.
අනුවණයෝ මට සමච්චල් නොකරත් වා.
9 ඔබ මට මෙසේ දුක් දුන් නිසා මම නිහඬ වීමි;
කට පියාගෙන සිටියෙමි.
10 ඔබ මට තවත් දඬුවම් නොකළ මැනව.
ඔබ දුන් පහරවලින් මා මැරෙන්න ආසන්න ය.
11 ඔබේ තරවටුවෙන් ඔබ මිනිස් පවට දඬුවම් දෙන සේක;
කාවෙකු කා දමන සේ ඔබ ඔහු රිසි දෙය වනසා ලන සේක.
මිනිසා නම්, සුළං රොදක් පමණ ය.
12 සමිඳුනි, මාගේ අයැදුම ඇසුව මැනව;
මාගේ මොරගෑමට සවන් දුන මැනව;
මාගේ කඳුළු දැක නිහඬ ව නොසිටිය මැනව.
මන්ද, ඔබ සමඟ ආගන්තුකයෙක් ද මාගේ පියවරුන් මෙන් කලක් නේවාසිකයෙක් ද වෙමි.
13 මා මෙලොවින් චුත වී, නැති වී යන්නට පෙර, මඳ කලකට ප්‍රීති වන පිණිස මට ඉඩ සැලසුව මැනව.

Suba Asna - සුබ අස්න

FREE
VIEW