ගීතාවලිය – 3 වන පරිච්ඡේදය –

පිහිට පතා අලුයම යැදුම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, මට සතුරෝ ගණනින් බොහෝ වන්නෝ ය;
මට විරුද්ධ වන්නෝ එන්න එන්න වැඩි වන්නෝ ය.
2 ”දෙවි පිහිටක් ඔහුට නැතැ”යි මා ගැන කියන්නෝ වැඩි වැඩියෙන් නැඟී එන්නෝ ය.
3 සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න.
මා මහිමය ඔබ ය;
ඔබ මා දිරි ගන්වන සේක.
4 මම සමිඳුන්ට හඬ නඟා මොරගසමි;
එතුමාණෝ සිය ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන සේක.
5 මම වැදහෙව නිදාගනිමි;
යළි අවදි වෙමි.
මන්ද, සමිඳාණෝ මට රැකවරණය දෙන සේක.
6 දස දහසක් සතුරන් සිටියත් මා වට කොට, බිය සැක කිසිත් මාගේ සිතට නැත්තේ ය.
7 සමිඳුනි, වැඩිය මැනව;
දෙවිඳුනි, මා මුදාලුව මැනව.
මන්ද, ඔබ සතුරන්ගේ බල සිඳලන සේක;
දුදනන්ගේ දළ බිඳලන සේක.
8 ජය සිරි එන්නේ සමිඳුන්ගෙන් ය.
ආසිරි ඔබ සෙනඟ කෙරෙහි වේ වා!

Suba Asna - සුබ අස්න

FREE
VIEW