ගීතාවලිය – 29 වන පරිච්ඡේදය –

මාරුත මැදින් දේව හඬ

දාවිත්ගේ ගීතයකි.
1 දිව්‍ය පුත්‍රයෙනි, සමිඳුන්ට පැසසුම් දෙන්න;
එතුමන් තෙද බල පසසන්න.
2 හිමි තුමන් නමට දිය යුතු මහිමය දෙන්න;
පාරිශුද්ධත්වයෙන් සැරසී එතුමන් නමදින්න.
3 සමිඳාණන්ගේ හඬ ජල මතුයෙහි ඇසේ.
ජල මතුයෙහි වැඩ වසන මහිමාන්විත හිමි සමිඳාණෝ ගර්ජනා කරන සේක.
4 සමිඳාණන්ගේ හඬ බලවත් ය;
සමිඳාණන්ගේ හඬ තේජාන්විත ය.
5 සමිඳාණන්ගේ හඬ කිහිරි ගස් බිඳලයි;
ලෙබනොනේ කිහිරි රුක් සුණු විසුණු කරයි.
6 ලෙබනොන්හි කඳු වැටි උඩ පනින වහු පැටවුන් මෙන් ද හර්මොන් කන්ද දුව පනින ගොන් වස්සකු මෙන් ද නටන්න සලස්වන සේක.
7 සමිඳුන්ගේ කටහඬ ගිනි දලු බෙදාලයි;
8 සමිඳුන්ගේ කටහඬ වන ගැබ සොලවයි;
හිමි තුමාණෝ කාදෙෂ් වන ගැබ සොලවති.
9 සමිඳුන්ගේ කටහඬ මුව දෙනුන්ට පැටවුන් බිහි කරවයි, වනය පාළු කරවයි, එතුමන්ගේ මාලිගාවෙහි සැම දෙය ම, ”ඔබට මහිමය වේවා”යි කියයි.
10 සමිඳාණෝ ජල කඳ මත රාජ තේජසින් වැඩ හිඳින සේක;
රාජ ලීලාවෙන් සදහට ම වැඩ හිඳින සේක.
11 සමිඳාණෝ සිය සෙනඟට ශක්තිය දෙන සේක;
සිය සෙනඟට සාමදානයෙන් ආසිරි දෙන සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW