ගීතාවලිය – 28 වන පරිච්ඡේදය –

දෙවි සරණ අයැදීම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, ඔබට හඬගසමි, මාගේ පර්වත රාජයාණෙනි, මට සවන් නො දී නොසිටිය මැනව.
ඔබ නිහඬ වුවහොත්, මාත් පාතාලයට බැස යන්නවුන්ගෙන් කෙනෙකු වනු ඇත.
2 මා ඔබට හඬ නඟන කල ද ඔබේ ශුද්ධස්ථානය දෙසට මාගේ දොහොත් මුදුන් තබන කල ද මාගේ යාදිනි හඬට කන් දුන මැනව.
3 සිය අසල්වැසියන් සමඟ සාමදානයෙන් කතා කළත්, හිත යට නපුරු චේතනා ඇති දුෂ්ටයන් ද නොපණත්කම් කරන්නන් ද සමඟ මා පහ නොකළ මැනව.
4 ඔවුන්ගේ ක්‍රියාවල හැටියට ද දුෂ්ට කල්ක්‍රියා අනුව ද ඔවුන්ට පල විපාක දුන මැනව;
ඔවුන් කළ දේ අනුව ඔවුන්ට පල විපාක දුන මැනව.
5 ඔවුන් සමිඳුන්ගේ ක්‍රියා හෝ එතුමන්ගේ නිර්මාණ හෝ නොසලකන බැවින්, එතුමාණෝ ඔවුන් සදහට ම සුණු විසුණු කරන සේක;
යළි නොපිහිටුවන සේක.
6 සමිඳුන් හට ප්‍රශංසා වේ වා!
මන්ද, එතුමාණෝ මාගේ යාදිනි හඬට සවන් දුන් සේක.
7 සමිඳාණෝ මාගේ ශක්තිය ය;
මාගේ පලිහ ය.
මම එතුමාණන් කෙරේ විශ්වාසය තැබීමි;
මම පිහිට ලදිමි.
එබැවින් මාගේ සිත අතිශයින් උදන් අනයි;
මම එතුමන්ට හද පත්ලෙන් තුති ගී ගයන්නෙමි.
8 සමිඳාණෝ සිය සෙනඟගේ ශක්තිය ය.
එතුමාණෝ සිය රාජාභිෂේකය දුන් අයට විමුක්තියේ බලකොටුව වන සේක.
9 ඔබේ සෙනඟ මුදා, ඔබේ ආවේණික සෙනඟට ආසිරි දුන මැනව;
ඔවුන් පෝෂණය කොට සදහට ම රැකබලාගත මැනව.

Suba Asna - සුබ අස්න

FREE
VIEW