ගීතාවලිය – 26 වන පරිච්ඡේදය –

සුදනෙකුගේ අයැදුම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, මා ගැන යුක්තිය ඉටු කළ මැනව.
මන්ද, මාගේ හැසිරීම නිදොස් ය.
සමිඳුන් කෙරේ අචල විශ්වාසයක් මට ඇත.
2 සමිඳුනි, මා සෝදිසි කොට, පරීක්ෂා කර බැලුව මැනව;
මාගේ සිත හා මනස විමසා බැලුව මැනව.
3 ඔබේ මහා කරුණාව මාගේ දෙනෙතින් දිටිමි.
ඔබට විශ්වාසී ව දවස් යැවීමි.
4 මම වැදගැම්මකට නැති මිනිසුන් සමඟ නොහැසිරෙමි;
කෛරාටිකයන් ඇසුරු නොකරමි.
5 දුදනන්ගේ සමාගමට මම තදින් ම විරුද්ධ ය.
ඔවුන් සමඟ පයිරුපාසනයක් මාගේ නැත.
6 නිදොස් බව දැක්වීමට මාගේ අත් සෝදා, සමිඳුනි, ඔබේ පුදසුන පැදකුණු කරන්නෙමි.
7 සමිඳුනි, තුති ගොස පතුරා හරින පිණිසත්, ඔබේ අසිරිමත් ක්‍රියා පසසන පිණිසත් මම එසේ කරමි.
8 සමිඳුනි, ඔබේ වාසභවනයටත්, ඔබ තේජසින් වැජඹෙන මන්දිරයටත් මම ප්‍රේම කරමි.
9 පවිටුන් හා සමඟ මා විනාශ නොකළ මැනව;
මිනීමරුවන් සමඟ මා පහ නොකළ මැනව.
10 ඔවුන්ගේ අත්වල නපුරු උපායන් වේ;
ඔවුන්ගේ දකුණත් අල්ලසින් දූෂණය වී ඇත.
11 මම මේ නිදොස්කමින් දවස් යවමි;
මා මුදා, මට කරුණා කළ මැනව.
12 මාගේ පාද යහ මඟ පිහිටා ඇත.
ප්‍රසිද්ධ නමස්කාරයේ දී සමිඳුන් හට පැසසුම් ගී ගයන්නෙමි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW