ගීතාවලිය – 20 වන පරිච්ඡේදය –

රජුගේ විජයශ්‍රීය

දාවිත්ගේ ගීතයකි.
1 විපත්ති දවසේ දී හිමි තුමාණෝ ඔබට පිළිතුරු දෙන සේක් වා!
ජාකොබ්ගේ දෙවිඳාණෝ ඔබට බලකොටුවක් වන සේක් වා!
2 එතුමාණෝ ශුද්ධස්ථානයෙන් ඔබට පිහිට එවා, සියොන් කන්දේ සිට ඔබ බලවත් කරන සේක් වා!
3 ඔබේ පුද පූජා සියල්ල සිහි කරන සේක් වා!
ඔබේ දවන යාග පූජා පිළිගන්න සේක් වා!
4 ඔබේ මන දොළ ඉටු කරන සේක් වා!
ඔබේ පැතුම් සාර්ථක කරන සේක් වා!
5 ඔබේ ජය සිරි ගැන අපි තුති පසස් නඟමු;
අපේ දෙවිඳුන් නමින් ජය කෙහෙලි නංවමු.
සමිඳාණෝ නුඹේ සියලු අයැදුම් ඉටු කරන සේක් වා!
6 හිමි සඳ සිය අබිසෙස් ලත් අය මුදන බව දනිමි.
සමිඳාණෝ, සිය සුපිරිසිදු සගලොව සිට සිය දකුණතේ විමුක්ති ශක්තියෙන් ඔහුට පිළිතුරු දෙන සේක.
7 සමහරු යුද රිය කෙරෙහි ද ඔවුන්ගේ අශ්වයන් කෙරෙහි ද විශ්වාසය තබති.
එහෙත්, අපි නම් දෙවි සමිඳාණන් කෙරෙහි විශ්වාසය තබමු.
8 ඔව්හු වකුටු වී වැටෙන්නෝ ය.
එහෙත්, අපි නැඟිට කෙළින් සිටිමු.
9 සමිඳුනි, රජතුමා මිදුව මැනව;
අප යදින විට පිළිතුරු දුන මැනව.

Suba Asna - සුබ අස්න

FREE
VIEW