ගීතාවලිය – 18 වන පරිච්ඡේදය –

ජය තුති ගීතය

සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු, දාවිත්ගේ ගීතයකි. ඔහුගේ සියලු සතුරන්ගෙන් ද සාවුල් අතින් ද සමිඳාණන් වහන්සේ ඔහු මිදූ කල ඔහු මේ ගීතිකාවේ වචන සමිඳාණන් වහන්සේට කීවේ ය.
1 මාගේ සවි ශක්තිය වන සමිඳුනි, මම ඔබට ප්‍රේම කරමි;
2 සමිඳාණෝ මාගේ පර්වතය ය; බලකොටුව ය;
මිදුම්කාරයාණෝ ය.
ඔබ මා දෙවිඳාණෝ ය;
පර්වතය ය.
මම ඔබ සරණකොට ගනිමි.
ඔබ මට පලිහ ය;
ගැළවීමේ බලය ය;
උස් කොටු පවුර ය.
3 සියලු පැසසුම්වලට හිමිකම් ඇති සමිඳුනි, මම ඔබට අයැද සිටිමි.
මෙසේ මාගේ සතුරන්ගෙන් මම ගැළවෙන්නෙමි.
4 මරහුගේ රැහැන් මා වෙළාගත්තේ ය;
වනසන ජලධාරා මා ගිලගත්තේ ය;
5 පාතාල රැහැන් මා වෙළාගති;
මරණයේ මලපත් මට අටවා තිබිණි.
6 මාගේ විපතේ දී සමිඳුන්ට අයැදීමි, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි.
එතුමාණෝ සිය මාලිගාවේ සිට මා හඬට සවන් දුන් සේක.
මා යාදිනි එතුමන් වෙත නැඟිණි.
7 එවිට මිහිකත සෙලවී කම්පා වූවා ය;
කඳුවල පදනම් දෙදරා සෙලවුණේ ය;
මන්ද, එතුමාණෝ උදහස් වූ සේක.
8 එතුමාණන්ගේ නාස්පුඩුවලින් දුම් වලා නැඟිණි;
මුවින් අග්නි ජාලා නික්ම සියල්ල දවා දැමී ය.
9 එතුමාණෝ අහස නමාගෙන පහළ වූ සේක.
එතුමන්ගේ පා යට ගන’ඳුර පැවතිණි.
10 එතුමාණෝ දිව්‍ය රථය අරා යාත්‍රා කළ සේක;
මාරුතය නමැති පියාපත් විදහා වේගයෙන් වැඩිය සේක.
11 එතුමාණෝ අඳුර තමන්ට පොරෝනාවක් කරගත් සේක;
වැහි වලා පටල තමන්ට මණ්ඩපයක් කරගත් සේක.
12 එතුමාණන් වෙත වූ උද්දීප්තියෙන් ඝන වලාකුළු ද ගල් වැසි හා ගිනි අඟුරු ද නික්මිණි.
13 සමිඳාණෝ අහස් කුසෙහි ගිගුරුම් දුන් සේක.
මහෝත්තමයාණෝ සිය හඬ නික්මවූ සේක.
එවිට ගල් වැසි හා ගිනි අඟුරු නික්මිණි.
14 එතුමාණෝ සිය ඊතල විද සතුරන් දස දෙස යැවූ සේක;
විදුලි සැර එවා ඔවුන් පරාජය කළ සේක.
15 සමිඳුනි, ඔබේ තරවටු කිරීමෙන් ද ඔබේ නාසයේ හුස්මේ වේගයෙන් ද සත් සමුදුර හෙළි පෙහෙළි විය.
16 එතුමාණෝ ඉහළින් අත පොවා, මා අල්ලාගත් සේක;
ගැඹුරු ජලධාරාවලින් මා ඇදගත් සේක.
17 එතුමාණෝ මාගේ බලවත් සතුරන්ගෙන් ද එදිරිකාරයන්ගෙන් ද මා මුදාගත් සේක.
එසේ කෙළේ, ඔවුන් මට වඩා බලසම්පන්න බැවිනි.
18 මාගේ විපත්ති කාලයේ දී ඔව්හු මට විරුද්ධ ව නැඟී ආහ;
එහෙත්, සමිඳාණෝ මට සරණ වූ සේක.
19 එතුමාණෝ ඉඩකඩ ඇති තැනකට මා ගෙනා සේක;
මා කෙරේ ප්‍රිය මනාප වූයෙන් මා මිදූ සේක.
20 මාගේ දැහැමි ජීවිතය අනුව ද මාගේ ක්‍රියා සුපිරිසිදු වූයෙන් ද සමිඳාණෝ මට ප්‍රතිඵල දුන් සේක.
21 මම සමිඳාණන්ගේ මාර්ගවල ගමන් කෙළෙමි.
මාගේ දෙවිඳුන් කෙරෙන් දුෂ්ට ලෙස වෙන් නොවීමි.
22 එතුමන්ගේ සියලු නියෝග මා ඉදිරියෙහි තබාගතිමි.
එතුමන්ගේ ආඥා අත් නොහළෙමි.
23 මම එතුමන් අබිමුවෙහි නිදොස් ව සිටියෙමි;
පවින් වැළකී සිටියෙමි.
24 එබැවින්, සමිඳාණෝ මාගේ දැහැමි ක්‍රියා අනුව,
මාගේ පිරිසිදු පැවැත්ම අනුව මට ප්‍රතිඵල දුන් සේක.
25 පක්ෂපාත අයට ඔබ පක්ෂපාතකම ද නිදොස් අයට නිදොස් බව ද දක්වන සේක.
26 පිවිතුරු අයට පිවිතුරු බව ද හිතුවක්කාර අයට විරෝධය ද දක්වන සේක.
27 ඔබ පීඩිතයන් මුදන සේක; එහෙත්, ඔබ උඩඟු වූවන් පහතට හෙළන සේක.
28 සමිඳුනි, ඔබ මාගේ පහන දල්වන සේක;
මාගේ දෙවි සමිඳාණෝ මාගේ අඳුර එළිය කරන සේක.
29 ඔබේ පිහිටෙන් මම යුද හමුදා අබිබවමි:
දෙවි සරණින් මම පවුරු උඩින් පැන යමි.
30 දෙවි මඟ සර්ව සම්පූර්ණ ය;
සමිඳුන්ගේ වචනය තිරසර ය.
සරණ පතා එන හැම අයට එතුමාණෝ පලිහකි.
31 හිමි තුමන් හැර වෙන දෙවි කෙනෙක් ඇද් ද?
අපේ දෙවිඳුන් හැර පර්වතයක් තවත් ඇද් ද?
32 මාගේ ඉඟටිය බලයෙන් පළඳවන්නෝ දෙවිඳාණෝ ය.
මාගේ මාර්ගය සර්ව සම්පූර්ණ කරන්නෝත් එතුමාණෝ ය.
33 මාගේ දෙපා මුව පාද මෙන් ශීඝ්‍ර කරන්නෝත්,
උස් ගිරි මුදුන්වල මා පිහිටුවන්නෝත් එතුමාණෝ ය.
34 මාගේ බාහුවෙන් ලෝකඩ දුනු නමන තරමට යුද බිමට මා පුහුණු කරන්නෝත් එතුමාණෝ ය.
35 ගැළවීමේ පලිහ ඔබ මට දුන් සේක.
ඔබේ දකුණත මාගේ අනුග්‍රහය විය. ඔබේ පිහිට මා උසස් කෙළේ ය.
36 ඔබ මා යන මඟ පළල් කළ සේක;
මාගේ දෙපා ස්ථිර ව පිහිටිණි.
37 මාගේ සතුරන් ලුහුබැඳ අල්ලාගනිමි;
ඔවුන් වනසා මිස ආපසු නොහැරෙමි.
38 යළි නොනැඟිටින පරිදි ඔවුන්ට පහර දෙමි.
ඔව්හු මා පා සෙවණෙහි වැටෙති.
39 සටනට ඔබ මාගේ ඉඟටිය බලයෙන් පළඳවන සේක;
මට විරුද්ධ ව නැඟුණු අය ඔබ මා යටතෙහි මැඩලන සේක.
40 මාගේ වෛරක්කාරය‍න් මා විසින් සිඳලනු ලබන පිණිස,
මාගේ සතුරන් මට පිටු පාන්නට සලසන සේක.
41 ඔව්හු පිහිට සොයා මොරගසති.
එහෙත්, ඔවුන්ට ගැළවුම්කාරයෙක් නැත.
සමිඳුන්ට මොරගසති;
එහෙත්, එතුමාණන්ගෙන් පිළිතුරක් නැත.
42 එවිට මම සුළඟෙහි පාවෙන දූවිල්ල මෙන් ඔවුන් සුණු විසුණු කරමි;
වීදිවල මඩ මෙන් ඔවුන් පයින් පාගාදමමි.
43 ඔබ ජනතාවගේ උද්ඝෝෂණවලින් මා මුදාගන්න සේක;
මා ජාතීන්ගේ නායකයා කරන සේක. මා පෙර දැන නොසිටි සෙනඟක් මට සේවය කරති.
44 මා ගැන ඇසූ කෙණෙහි ම ඔව්හු මට කීකරු වන්නෝ ය;
විදේශීහු බැගෑපත් ලීලාවෙන් මා සොයා එන්නාහ.
45 විදේශීහු මට අවනත වන්නෝ ය;
සිය බලකොටුවලින් වෙවුල වෙවුලා පිටතට එන්නෝ ය.
46 සමිඳාණෝ සැරදෙත් වා!
මාගේ ප්‍රාකාරය වන එතුමන්ට පැසසුම් වේ වා!
මාගේ විමුක්තිදායකයාණෝ අන් හැමට පරමෝත්තම වන සේක.
47 එතුමාණෝ වනාහි මා වෙනුවෙන් පළිගන්න, ජාතීන් මට යටත් කර දෙන දෙවිඳාණෝ ය.
48 එතුමාණෝ මාගේ සතුරන්ගෙන් මා මුදන සේක;
මට විරුද්ධ ව නැඟිටිනවුන්ට ඉහළින් ඔබ මා පිහිටුවන සේක.
ප්‍රචණ්ඩකාරීන්ගෙන් මා මුදන සේක.
49 එබැවින් සමිඳුනි, මම විජාතීන් අතර ඔබට පැසසුම් පුදමි;
ඔබේ නමට තුති ගී ගයන්නෙමි.
50 එතුමාණෝ සිය රජුට ජය සිරි දෙන සේක;
තමන් අතින් අබිසෙස් ලත් දාවිත් රජුට ද ඔහුගේ වංශයට ද සදහට ම කරුණා කරන සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW