ගීතාවලිය – 146 වන පරිච්ඡේදය –

එක ම ගැළවුම්කාර සමිඳුන්

1 සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
2 දිවි හිමියෙන් සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමි.
දිවි ඇති තාක් මා දෙවිඳුන්ට පැසසුම් ගී ගයන්නෙමි.
3 රජ කුමරුන් කෙරෙහි වත්, පිහිට විය නොහැකි කිසි ම මිනිසෙකු කෙරෙහි වත් විශ්වාසය නොතබන්න.
4 මිනිසා අන්තිම හුස්ම හෙළයි;
පසට ආපසු හැරෙයි;
එදින ම ඔහුගේ යෝජනා සුන් වී යයි.
5 ජාකොබ්ගේ දෙවිඳුන් සරණ පතන, සිය දෙවි සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තේ වාසනාවන්ත ය.
6 එතුමාණෝ අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ සේක.
එතුමාණෝ සදාකල් ම විශ්වාසී ව සිටින සේක.
7 සමිඳාණෝ පීඩා විඳින්නන්ට යුක්තිය ඉටු කර දෙන සේක;
සාගිනි වූවන්ට ආහාර දෙන සේක;
8 එතුමාණෝ සිරකරුවන් මුදන සේක;
අන්ධයන්ගේ ඇස් පහදන සේක;
වැටී ගියවුන් නඟා සිටුවන සේක;
සමිඳාණෝ දමිටුන්ට ප්‍රේම කරන සේක.
9 විදේශීන් ආරක්ෂා කරන සේක;
අනාථයන්ට හා වැන්දඹුවන්ට උපකාර කරන සේක;
එහෙත්, දුදනාගේ යෝජනා සුන් කරන සේක.
10 සමිඳාණෝ සදහට ම රජකම් කරන සේක.
එම්බා සියොන් නගරය!
ඔබේ සමිඳාණෝ සියලු පරම්පරා දක්වා රජකම් කරන සේක.
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!

Suba Asna - සුබ අස්න

FREE
VIEW