ගීතාවලිය – 142 වන පරිච්ඡේදය –

දැඩි අනතුරක දී කන්නලව්ව

ගුහාවේ තමාගේ සිටීම ගැන දාවිත්ගේ අනුශාසනා යාච්ඤාවකි.
1 මම හඬ නඟා සමිඳුන්ට මොරගසමි.
මම ශබ්ද නඟා සමිඳුන්ට කන්නලව් කරමි;
2 මාගේ දුක් ගැනවිලි එතුමන් ඉදිරියෙහි තබමි.
එතුමන් ඉදිරියෙහි මාගේ දුක් කරදර කියා සිටිමි.
3 මාගේ සිත මා තුළ මලානික වූ කල මා යන මඟ ඔබ දන්න සේක.
මා යන මඟෙහි ඔව්හු මට මලපතක් තැබුවෝ ය.
4 මම ඇස් යොමා දකුණු දෙස බැලුවෙමි.
මා ළඟ මිතුරෙකු නැති බව මට පෙනිණි.
මා ආරක්ෂා කරන්න කිසිවෙක් නැත.
කිසිවෙක් මා ගැන සලකන්නේ නැත.
5 සමිඳුනි, මම ඔබට මොරගැසීමි:
ඔබ මාගේ රක්ෂා ස්ථානය වන සේක.
මේ ජීවිතේ දී මාගේ උරුමය ඔබ පමණක් ය.
6 මාගේ මොරගැසීමට කන් දුන මැනව.
මම දුක් සයුරේ කිඳා ගොස් සිටිමි.
මට පීඩා කරන්නන්ගෙන් මා ගැළෙවුව මැනව.
මන්ද, ඔව්හු මට වඩා බලවත් ය.
7 දුක් නමැති දඟ ගෙයින් මා මිදුව මැනව.
ඔබ මට යහපත කළ නිසා මම ඔබේ සැදැහැවතුන්ගේ සභාවෙහි ඔබට තුති පුදන්නෙමි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW