ගීතාවලිය – 141 වන පරිච්ඡේදය –

පරීක්ෂාවෙන් මිදීම පිණිස අයැදුම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, මම ඔබෙන් අයැදින්නෙමි.
මා ළඟට විගසින් වැඩිය මැනව.
ඔබෙන් අයැදින කල මට සවන් දුන මැනව.
2 මාගේ අයැදුම ඔබ ඉදිරියෙහි සුවඳ දුම් මෙන් ද මාගේ දෑත එසවීම සන්ධ්‍යා පූජාව මෙන් ද පිළිගනු මැනව.
3 සමිඳුනි, මාගේ කට රැක ගැන්මට පිහිට වුණ මැනව.
මාගේ දෙතොල රක්ෂා කළ මැනව.
4 මා හද නපුරට ඇදී යාමට ද දුෂ්ට ක්‍රියාවලට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව.
දුෂ්ටයන්ගේ මංගල බොදුනට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව.
5 සුදනෙකු මට දඬුවම් දී තරවටු කළත් එය කාරුණික ක්‍රියාවකි.
එහෙත්, දුදනන් දෙන ගරු සම්මාන මම ප්‍රිය නොකරමි.
මන්ද, මාගේ අයැදුම නිතර ම ඔවුන්ගේ දුෂ්ටකමට විරුද්ධ ව බැවිනි.
6 ඔවුන්ගේ විනිශ්චයකාරයන් ප්‍රපාතවලින් හෙළනු ලැබූ කල මාගේ වචන සැබෑ බව සෙනඟ පිළිගනු ඇත.
7 ලී කොට කැබලිකර දමන්නාක් මෙන් ඔවුන්ගේ ඇටකටු මිනී වළේ කට ළඟ විසිරී තිබේ.
8 එසේ ය, මහෝත්තම දෙවි ස්වාමීනි, මාගේ ඇස් ඔබ දෙස යොමු වී තිබේ.
මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි.
මා අනාථ වන්නට ඉඩ නුදුන මැනව.
9 ඔවුන් මට තැබූ මලපතින් ද අයුතුකම් කරන්නන්ගේ උගුල්වලින් ද මා ආරක්ෂා කළ මැනව.
10 මා ගැළවී යන අතර, දුදනෝ තමන්ගේ ම දැල්වලට අසු වෙත් වා!

Suba Asna - සුබ අස්න

FREE
VIEW