ගීතාවලිය – 140 වන පරිච්ඡේදය –

දුදනන්ගෙන් ආරක්ෂාව පතා අයැදීම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, දුදනන්ගෙන් මා ගැළෙවුව මැනව.
සැහැසිකම් කරන අයගෙන්, මා ආරක්ෂා කළ මැනව.
2 ඔව්හු නපුරු සිතින් උපා යොදති. නොකඩ ව ම අඬදබර උපදවති.
3 ඔවුන්ගේ දිව විසකුරු සපුන්ගේ දළ මෙන් තියුණු ය.
ඔවුන්ගේ වචන පොළොං විස වැන්න.
4 සමිඳුනි, දුදනන්ගේ අතින් මා මුදාගත මැනව.
සැහැසිකම් කරන අයගෙන් මා ආරක්ෂා කළ මැනව.
ඔව්හු මාගේ පැකිළීමට උපා යොදති.
5 උඩඟු අය මට උගුල් අටවා රැහැන් ඇද්දෝ ය.
ඔව්හු මඟ අසල දැලක් එළා මට මලපත් තැබූ හ.
6 ‘ඔබ මාගේ දෙවිඳාණෝ ය’යි මම සමිඳුන් ඇමතුවෙමි.
සමිඳුනි, මාගේ කන්නලව්වට සවන් දුන් මැනව.
7 මාගේ ගැළවීමේ ශක්තිය වන මහෝත්තම දෙවි ස්වාමීනි, සටනේ දී ඔබ මාගේ හිස වැස්මකින් ආරක්ෂා කළ සේක.
8 සමිඳුනි, දුදනන්ගේ ආසාව ඉටු නොකළ මැනව.
ඔවුන්ගේ නපුරු උපා සාර්ථක වන්නට ඉඩ නුදුන මැනව.
9 මා වට කරගෙන සිටින අයට ජය ගන්නට ඉඩ නොදෙන්න.
ඔවුන්ගේ තර්ජන ඔවුන් පිට ම වැටේ වා!
10 ඔවුන් පිට ගිනි අඟුරු වැටේ වා!
ඔව්හු ගොඩ ගන්නට නොහැකි ගැඹුරු වළක හෙළනු ලබත් වා!
11 නපුරු, කේළාම්කාර මිනිසාට දේශයෙහි සිටින්නට ඉඩ නුදුන මැනව.
සාහසිකයන් හෙළන පිණිස නපුරා වේගයෙන් ඔවුන් ලුහුබඳී වා!
12 සමිඳුනි, ඔබ දුප්පතාගේ නඩුව සාධාරණ ලෙස අසන බවත්, දිළිඳාට යුක්තිය ඉටු කර දෙන බවත් මම දනිමි.
13 සැබැවින් දැහැමියෝ ඔබේ නාමයට තුති පුදන්නෝ ය.
අවංක අය ඔබ අබිමුව යෙහෙන් වාසය කරන්නෝ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW