ගීතාවලිය – 14 වන පරිච්ඡේදය –

අදේවදෘෂ්ටිකයන්ගේ ඉරණම

දාවිත්ගේ ගීතයකි.
1 ”දෙවි කෙනෙක් නැතැ”යි අනුවණයෝ සිතින් සිතති.
එවැනි අය අධම කුදිටු දේ ම කරති;
යහපත කරන කිසිවෙක් ඔවුන් අතර තවත් නැත.
2 සමිඳාණෝ සුරලොව සිට බලන සේක;
මිනිස් ලොවෙහි නැණවත් අය, දෙවිඳුන් වැඳ පුදන අය, ඇද්දැ යි විමසන සේක.
3 ඔවුන් සියල්ලන් ම මුළා ව ගොස් ඇත;
සව් සත කෙලෙස් මලින් පිරී ඇත.
හොඳක් කරන කිසිවෙක් නැත;
ඇත්තට ම නැත.
4 කෑම කන්නාක් මෙන් මාගේ සෙනඟ කා දමන, මා හට අයැදුම් නොකරන,
අදමිටු මේ අයට සිහි නුවණ නැද් ද?
5 දෙවි තුමන් තමන් කීකරු අයට ළං ව වැඩ වසන බැවින්, පවිටු දනෝ මහත් බියෙන් ඇලළී යති.
6 පවිටු දනෝ දිළිඳුන්ගේ සිතුම්පැතුම් ව්‍යර්ථ කරති.
එහෙත්, සමිඳාණෝ ඔවුන්ගේ සරණ වන සේක.
7 සියොන් කන්දෙන් විමුක්තිය පැමිණියොත් කෙතරම් හොඳ ද?
හිමි තුමන් සිය සෙනඟට සැප සම්පත දුන් විට, ජාකොබ් පෙළපතට කොපමණ ප්‍රීතියක් ද?
ඉශ්රායෙල් සෙනඟට කොපමණ සතුටක් ද?

Suba Asna - සුබ අස්න

FREE
VIEW