ගීතාවලිය – 137 වන පරිච්ඡේදය –

විප්‍රවාසගත වූවන්ගේ පැතීම

1 බබිලොන්හි ගං තෙරවල අපි හිඳගතිමු.
සියොන් කන්ද අපට සිහි වූ විට අපි හඬා වැලපුණෙමු.
2 එහි බට පඳුරුවල අපේ වීණා එල්ලා තැබීමු.
3 එසේ කෙළේ, අප වහල්කමට ගෙන ගිය අය ගැයුම් වැයුම් කරන ලෙස අපට බල කළ බැවිනි.
අපට පීඩා කළ අය, සියොන් ගීයක් ගයා ඔවුන් විනෝද කරවන ලෙස අපෙන් ඉල්ලූ බැවිනි.
4 විදේශයක දී, සමිඳුන්ගේ ගීතය අපි කෙසේ ගයමු ද?
5 එම්බා ජෙරුසලම!
තී මට අමතක වී නම්, මාගේ දකුණත වියළී යේ වා!
6 මම තී සිහි නොකරම් නම්, මාගේ පරමානන්දය මෙන් ජෙරුසලම මම නොසලකම් නම් මාගේ දිව ගොළු වේ වා!
7 සමිඳුනි, ජෙරුසලම වැටුණ දවසේ දී, ‘බිඳ හෙළව්, බිඳ හෙළව්’ කියමින් ඒදොම් වැසියන් කළ දේ ඔවුන්ට විරුද්ධ ව සිහිකළ මැනව.
8 අහෝ බබිලෝනිය!
විනාශකාරී බබිලෝනිය!
තී අපට කළාක් මෙන් තිට ප්‍රතිවිපාක දෙන මිනිසා වාසනාවන්ත ය.
9 තිගේ ළදරුවන් රැගෙන ගලේ ගසන මිනිසා වාසනාවන්ත ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW