ගීතාවලිය – 129 වන පරිච්ඡේදය –

සතුරන්ට විරුද්ධ ව යැදීමක්

1 ඉශ්රායෙල් දැන් මෙසේ කියත් වා:
”මාගේ තරුණ වයසේ පටන් සතුරෝ බොහෝ වර මට පීඩා කළෝ ය.
2 මාගේ තරුණ වයසේ පටන් සතුරෝ බොහෝ වර මට පීඩා කළෝ ය.
එහෙත්, මාගෙන් ජය නොගත්තෝ ය.
3 කුඹුරක් සීසාන්නාක් මෙන් ඔව්හු මාගේ පිට ගැඹුරට හාරා තුවාළ කළෝ ය.
4 එහෙත්, සමිඳාණෝ ධර්මිෂ්ඨ ය;
එතුමාණෝ දුෂ්ටයන්ගේ වහල් බැමිවලින් මා මුදා හරින සේක.”
5 සියොන්ට ද්වේෂ කරන සියල්ලෝ ලජ්ජා වී පලා යත් වා!
6 ඔව්හු වැඩෙන්නට පළමුවෙන් වියළී යන, පියස්ස පිට ඇති තෘණ මෙන් වෙත් වා!
7 කපන්නා එයින්, අත පිරෙන මිටියක් වත්, මිටි බඳින්නා ළය පුරවන මිටියක් වත් නොගන්නේ ය.
8 ”සමිඳුන්ගේ ආශීර්වාද ඔබට වේ වා!
සමිඳුන්ගේ නාමයෙන් අපි ඔබට ආශීර්වාද කරමු”යි මඟ යන කිසිවෙක් ඔවුන්ට නොකියන්නෝ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW