ගීතාවලිය – 12 වන පරිච්ඡේදය –

අභක්තිය පැවති කලක කළ අයැදුම

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳුනි, පිහිට වුණ මැනව.
සැදැහැවතුන් ඉතිරි ව නැත.
විශ්වාසවන්තකම ලොවින් තුරන් වී ඇත.
2 මිනිසා මිනිසාට බොරු පවසයි;
චාටු බසින් දෙසිත් ඇති ව කතා කරයි.
3 සමිඳුනි, ඔවුන්ගේ චාටු බස් නවත්වන්න;
පුරසාරම් නැති කරන්න.
4 ඔව්හු මෙසේ උදන් අනති:
”අප රිසි දෙය අපි කියමු;
කුමට ද අප නිහඬ වන්නේ?
කවුරු ද එය නවතන්නේ?”
5 අප සමිඳාණෝ මෙසේ වදාරති:
”පිහිටක් නැති දිළිඳා තළාපෙළා දමන නිසා,
ඒ දුක මට ඇසෙන නිසා, මම දැන් එහි වැඩම කරමි;
ඔවුන් පතන රැකවරණය සලසා දෙමි.”
6 කෝවෙහි සත්වරක් දමා උණු කරන ලද රිදී මෙන් සමිඳුන් බස් සුපිරිසිදු ය.
7 සමිඳුනි, අප රැකගත මැනව;
කුදිටු අනාචාරික පරපුරකින් අප නිරතුරු රැකගත මැනව.
8 පවිටු දනෝ ඔබමොබ යති.
රට සැම දෙස දුසිරිත වැජඹෙයි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW