ගීතාවලිය – 119 වන පරිච්ඡේදය –

දේව පණතේ මාහැඟිකම

1 නිදොස් දිවියක් ගත කරන අය, සමිඳුන්ගේ ව්‍යවස්ථාව අනුව හැසිරෙන අය භාග්‍යවන්ත ය.
2 එතුමන්ගේ ශික්ෂා පද පවත්වන අය, මුළු සිතින් එතුමන් සොයන අය භාග්‍යවන්ත ය.
3 එසේ ය, ඔව්හු කිසි නපුරක් නොකරති;
ඔව්හු එතුමන්ගේ මාර්ගවල හැසිරෙති.
4 අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක.
5 ඔබේ පණත් පිළිපැදීමෙන් මාගේ චර්යාව ස්ථිර ව පැවතේ වා!
6 ඔබේ ආඥා සියල්ලට ඇලුම් ව සිටින විට මම ලජ්ජා නොවන්නෙමි.
7 ඔබේ දැහැමි අණපණත් මා දැනගත් විට අවංක සිතින් ඔබට ස්තුති කරන්නෙමි.
8 ඔබේ පණත් පිළිපදින්නෙමි;
මා කිසි දා අත් නොහැරිය මැනව.

දේව ආඥාවට කීකරු වීම

9 තරුණයෙකු තම දිවි මඟ පිවිතුරු ව තබාගන්නේ කෙසේ ද?
ඔබේ ආඥාවට කීකරු වීමෙනි.
10 මාගේ මුළු සිතින් ඔබ සෙවීමි;
ඔබේ ආඥාවලට පිටුපා යන්නට මට ඉඩ නුදුන මැනව.
11 ඔබට විරුද්ධ ව පව් නොකරන පිණිස ඔබේ වචනය මාගේ සිතේ නිදන් කරගනිමි.
12 සමිඳුනි, මම ඔබ පසසමි, ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
13 ඔබ ප්‍රකාශ කළ සියලු නීති මාගේ මුවින් පතුරුවා හැරීමි.
14 සියලු යස ඉසුරෙහි ප්‍රීති වීමට වඩා ඔබේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත් වෙමි.
15 ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි;
ඔබේ මාර්ග කෙරෙහි මාගේ සිත යොමු කරන්නෙමි.
16 ඔබේ නියමවලට ප්‍රිය වන්නෙමි;
ඔබේ වචනය අමතක නොකරන්නෙමි.

ශික්ෂා මාර්ගයෙහි ප්‍රීති වීම

17 ඔබේ මෙහෙකරුගේ යහපත ගැන හොඳින් සලකා බැලුව මැනව.
එවිට මම ජීවත් වන්නෙමි, ඔබේ ඉගැන්වීම් පවත්වන්නෙමි.
18 ඔබේ ව්‍යවස්ථාවෙහි පුදුම අගයන් දක්නා පිණිස මාගේ ඇස් පැහැදුව මැනව.
19 මම මිහි පිට ආගන්තුක ව වසන්නෙක්මි.
ඔබේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව.
20 සැම විට ම ඔබේ නීති දැනගැනීමට මා සිත දැඩි ආශාවෙන් දැවෙන්නේ ය.
21 ඔබේ ආඥාවලට පිටුපා යන, සාපලත් උඩඟු අයට ඔබ තරවටු කරන සේක.
22 ඔවුන්ගේ නින්දාවත්, අවමානයත් මා කෙරෙන් පහ කළ මැනව.
මන්ද, මම ඔබේ ශික්ෂා පද රක්ෂා කෙළෙමි.
23 අධිපතියෝ එක් රැස් ව මට විරුද්ධ ව කුමන්ත්‍රණ කළෝ ය.
එහෙත්, ඔබේ මෙහෙකරුවා ඔබේ පණත් භාවනා කරන්නේ ය.
24 ඔබේ ශික්ෂා පද මාගේ ප්‍රීතිය වේ. ඒවා මාගේ උපදේශකයා ය.

ව්‍යවස්ථාව පැවැත්වීමේ අධිෂ්ඨානය

25 මම දූවිල්ලෙහි වැතිර සිටිමි.
ඔබේ පොරොන්දුව ලෙස මා ප්‍රාණවත් කළ මැනව.
26 මා කළ සියල්ල ප්‍රකාශ කෙළෙමි.
එවිට ඔබ පිළිතුරු දුන් සේක.
දැන් ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
27 ඔබේ නියෝග මට තේරුම් කර දුන මැනව.
එවිට ඔබේ බලවත් ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි.
28 මහද සොවින් උණු වී යයි.
ඔබේ පොරොන්දුව ලෙස මා ශක්තිමත් කළ මැනව.
29 වංක ක්‍රියා මා කෙරෙන් දුරින් දුරු කළ මැනව.
ඔබේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට මට වරම් දුන මැනව.
30 සත්‍ය මාර්ගය මම තෝරාගතිමි.
ඔබේ නීති මා ඉදිරියෙහි තබාගතිමි.
31 අහෝ සමිඳුනි!
ඔබේ ශික්ෂා පදවලට ඇලුම් වෙමි.
මා ලජ්ජාවට නොපැමිණෙවුව මැනව.
32 ඔබ මාගේ දැනුම පුළුල් කරන විට ඔබේ ශික්ෂා මාර්ගයෙහි යුහු ව ගමන් කරන්නෙමි.

තේරුම්ගැනීම සඳහා යැදුමක්

33 සමිඳුනි, ඔබේ ශික්ෂා මාර්ගය මට ඉගැන්නුව මැනව.
එය දිවි හිමියෙන් මම පිළිපදින්නෙමි.
34 මට මනා අවබෝධය දුන මැනව.
එවිට ඔබේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි;
එසේ ය, මාගේ මුළු සිතින් එය පිළිපදින්නෙමි.
35 ඔබේ ශික්ෂා මාර්ගයෙහි මා කැඳවාගෙන යනු මැනව.
මන්ද, එය මාගේ ප්‍රීතිය වේ.
36 අයුතු ලාභයට නොව, ඔබේ ශික්ෂා පදවලට මාගේ සිත යොමු කළ මැනව.
37 නිසරු දේ නැරඹීමෙන් මාගේ නෙත් වැළකුව මැනව;
ඔබේ වචනයෙන් මා ප්‍රාණවත් කළ මැනව.
38 ඔබ කෙරෙහි ගරුබිය ඇත්තන් හට ඔබ දෙන පොරොන්දුව ඔබේ මෙහෙකරුවාට ඉටුකර දුන මැනව.
39 මා තුළ බිය උපදවන මාගේ නින්දාව මා කෙරෙන් පහකළ මැනව.
මන්ද, ඔබේ විශ්වාසවන්තකම යහපත් ය.
40 ඔබේ නියෝගයන්ට ආශා වීමි.
ඔබේ දැහැමි බවෙහි මා ප්‍රාණවත් කළ මැනව.

ව්‍යවස්ථාව කෙරෙහි විශ්වාසය තැබීම

41 සමිඳුනි, ඔබේ පොරොන්දුව පරිදි ඔබේ තිර පෙම පෙන්වා වදාළ මැනව.
එනම්, ඔබේ ගැළවීම මා වෙත එවා වදාළ මැනව.
42 එවිට මට නින්දා කරන්නාට දිය යුතු පිළිතුරක් මට ඇති වන්නේ ය.
මන්ද, මම ඔබේ වචනය විශ්වාස කරමි.
43 සත්‍ය වචනය මාගේ මුවින් ඉවත් නොකළ මැනව.
මන්ද, ඔබේ විනිශ්චයයන් තුළ මම මාගේ බලාපොරොත්තුව තබමි.
44 මෙසේ ඔබේ ව්‍යවස්ථාව සදහට ම නොකඩවා පිළිපදින්නෙමි.
45 මම නිදහස් ලෙස හැසිරෙන්නෙමි. මන්ද, ඔබේ නියෝග අනුව මම ජීවත් වීමි.
46 රජුන් ඉදිරියෙහිත් ඔබේ ශික්ෂා පද ගැන කතා කරමි;
ලජ්ජාවට පත් නොවන්නෙමි.
47 මා සිත් ගත් ඔබේ ආඥාවන් කෙරෙහි ප්‍රීති වන්නෙමි.
48 මා සිත් ගත් ඔබේ ආඥාවලට ගරුසරු දක්වා ඔබේ පණත් ගැන භාවනා කරන්නෙමි.

ව්‍යවස්ථාව කෙරෙහි අචල භක්තිය

49 ඔබේ මෙහෙකරුවා වන මට ඔබ දුන් පොරොන්දුව සිහිකළ මැනව.
ඔබ එය ගැන බලාපොරොත්තුව මා තුළ ඇතිකළ සේක.
50 ඔබේ පොරොන්දුව මා ප්‍රාණවත් කළ බැවින් මාගේ දුකේ දී එය මාගේ සැනසීම විය.
51 උඩඟු අය මට අතිශයින් අපහාස කළෝ ය.
එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාවෙන් ඉවත් ව නොයන්නෙමි.
52 සමිඳුනි, ආදියේ සිට පැවති ඔබේ විනිසුම් සිහි කොට සැනසීම ලබා ගතිමි.
53 ඔබේ ව්‍යවස්ථාව අත්හරින අදමිටුවන් දකින විට මා තුළ කෝපාග්නිය ඇවිළී යයි.
54 මාගේ මේ ලුහුඬු ජීවිත ගමනේ දී ඔබේ පණත් ගැන ගී ගයමි.
55 සමිඳුනි, රාත්‍රියේ දී ඔබේ නාමය සිහි කරන්නෙමි;
ඔබේ ව්‍යවස්ථාව පිළිපදින්නෙමි.
56 මේ ආසිරි මට ලැබුණේ, මා ඔබේ නියෝග රක්ෂා කළ නිසා ය.

ව්‍යවස්ථාවට බැති පෙම

57 සමිඳුනි, මාගේ එක ම සම්පත ඔබ ය.
ඔබේ නියෝග පවත්වන්නට පොරොන්දු වෙමි.
58 මාගේ මුළු සිතින් ඔබේ කරුණාව ඉල්ලමි.
ඔබේ පොරොන්දුව පරිදි මට කරුණා කළ මැනව.
59 මම මාගේ හැසිරීම ගැන සිහිකර ඔබේ ශික්ෂා පද දෙසට යළි හැරෙන්නෙමි.
60 මම ඔබේ ආඥා පිළිපැදීමට පමා නොවී ඉක්මන් වීමි.
61 දුදනන් මට උගුලක් අටවා ඇත.
එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාව අමතක නොකෙළෙමි.
62 ඔබේ දැහැමි නියෝග නිසා මැදියම් රැයේ ඔබට ස්තුති කරන්න මම අවදි වන්නෙමි.
63 මම ඔබ කෙරෙහි ගරුබිය ඇති සියල්ලන්ගේ ද ඔබේ නියෝග පවත්වන්නන්ගේ ද මිතුරෙක් වෙමි.
64 සමිඳුනි, පොළොව ඔබේ තිර පෙමින් පිරී තිබේ. ඔබේ පණත් මට ඉගැන්වුව මැනව.

ව්‍යවස්ථාවේ වටිනාකම

65 සමිඳුනි, ඔබේ පොරොන්දුව ප්‍රකාර ඔබේ මෙහෙකරුවාට ඔබ යහපත කළ සේක.
66 මට තියුණු නැණනුවණ හා දැනුම දුන මැනව.
මන්ද, මම ඔබේ ආඥා විශ්වාස කරමි.
67 පීඩා විඳින්නට පෙර මම මුළා ව ගියෙමි.
එහෙත් දැන්, ඔබේ වචනයට කීකරු වෙමි.
68 ඔබ යහපත් ය;
යහපත කරන සේක. ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
69 උඩඟු අය මට විරුද්ධ ව බොරු ගොතා ඇත.
එහෙත්, මාගේ මුළු සිතින් ඔබේ නියෝගවලට කීකරු වන්නෙමි.
70 ඔවුන්ට දැඩි සිතක් ඇත;
එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රිය වෙමි.
71 පීඩා විඳීම මට යහපතක් විය; එයින් ඔබේ පණත් ඉගෙනගතිමි.
72 ඔබ වදාළ ව්‍යවස්ථාව මසුරන් දහසකට වඩා මට අගේ ය.

ව්‍යවස්ථාවේ සාධාරණකම

73 සිය’තින් මා මවා, රක්නා සමිඳුනි, ඔබේ ආඥා ඉගෙනගන්න පිණිස මට නුවණ දුන මැනව.
74 ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා දැක සතුටු වන්නෝ ය.
මන්ද, මම ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි.
75 සමිඳුනි, ඔබේ විනිශ්චයයන් සාධාරණ බවත්, ඔබ විශ්වාසවන්ත නිසා මට පීඩා කළ බවත් දනිමි.
76 ඔබේ මෙහෙකරුවාට ඔබ පොරොන්දු වූ පරිදි ඔබේ මහ කුළුණු ගුණය මාගේ සැනසීම පිණිස වේ වා!
77 මා ජීවත් වන පිණිස මට අනුකම්පා කළ මැනව.
ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය වේ.
78 උඩඟු අය අයුතු ලෙස මා හෙළා දැමූ බැවින්,
ඔව්හු ලජ්ජාවට පැමිණෙත් වා!
එහෙත්, මම ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි.
79 ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා වෙත හැරී එත් වා!
එවිට ඔව්හු ඔබේ ශික්ෂා පද තේරුම්ගන්නෝ ය.
80 මා පරාජයට පත් නොවන පිණිස ඔබේ පණත් අනුව ජීවත් වන්නට මා හද පිරිසිදු කළ මැනව.

මිදීම සඳහා යැදුමක්

81 මගේ සිත ඔබේ ගැළවීමට ආශාවෙන් වැහැරී යයි.
මම ඔබේ පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු වෙමි.
82 ‘ඔබ කවදා මා සනසන සේක් දැ’යි මම යදින්නෙමි.
ඔබේ පොරොන්දු ගැන බලා සිටීමෙන් මාගේ ඇස් වෙහෙස වී ඇත.
83 ඇකිළී ගිය ලබු කැටයක් මෙන් මම නිසල් වීමි.
එහෙත්, ඔබේ පණත් අමතක නොකරමි.
84 ඔබේ මෙහෙකරුවා තව කොතෙක් කල් බලා සිටින්න ද?
මට පීඩා කරන්නන්ට ඔබ කවදා යුක්තිය ඉටු කරන සේක් ද?
85 ඔබේ ව්‍යවස්ථාව ලෙස නොහැසිරෙන උඩඟු අය මට බොරු වළවල් හෑරුවෝ ය.
86 ඔබේ ආඥා සියල්ල විශ්වාස කටයුතු ය.
මිනිස්සු අයුතු ලෙස මට පීඩා කරති.
මට පිහිට වුව මැනව.
87 ඔවුන් සහමුලින් ම මෙන් මා මිහි පිටින් වනසාදමා ඇත.
එහෙත්, මම ඔබේ නියෝග අත් නොහරිමි.
88 ඔබේ මහා කරුණාව ලෙස මා පණ ගැන්වුව මැනව.
එවිට මම, ඔබ වදාළ ශික්ෂා පද පිළිපදින්නෙමි.

ව්‍යවස්ථාව කෙරෙහි ඇදහිල්ල

89 සමිඳුනි, ඔබේ වචනය සදාතනික ය;
එය තිර ලෙස සගලොව ඇත.
90 ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවත්නේ ය.
ඔබ පොළොව පිහිටෙවු සේක.
එය ස්ථිර ව පවතී.
91 ඔබේ නියමයන් ලෙස ඒ මැවිලි අද දක්වා පවතී.
මන්ද, සියල්ල ඔබට මෙහෙ කරයි.
92 ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය නොවී නම්,
මාගේ විපතේ දී මා වැනසෙන්නට ඉඩ තිබුණේ ය.
93 ඔබේ නියෝග කිසි කලෙක අමතක නොකරන්නෙමි.
මන්ද, ඔබ ඒවායින් මා පණ ගැන්වූ සේක.
94 මම ඔබේ ය;
මා මුදාලුව මැනව.
ඔබේ නියෝග මම මෙනෙහි කෙළෙමි.
95 දුෂ්ටයෝ මා විනාශ කරන්නට බලා සිටියෝ ය.
එහෙත්, මම ඔබේ ශික්ෂා පද සාවධානයෙන් මෙනෙහි කරන්නෙමි.
96 හැම යහපතකට ම සීමාවක් ඇති බව මා දැක ඇත.
එහෙත්, ඔබේ ආඥාවට නම් සීමාවක් නැත.

ව්‍යවස්ථාවට ඇති ඇල්ම

97 ඔබේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම් ද?
එය මාගේ දෛනික භාවනාව වේ.
98 ඔබේ ආඥා නිතර ම මා සමඟ ය.
එයින් මාගේ සතුරන්ට වඩා මම පැණවත් වෙමි.
99 මාගේ සියලු ඇදුරන්ට වඩා මට නැණනුවණ ඇත්තේ ය.
මාගේ භාවනාව ඔබේ ශික්ෂා ගැන ම ය.
100 මා ඔබේ නියෝග රක්ෂා කළ බැවින් වැඩිහිටියන්ට වඩා තේරුම් පැහැදුම් මට ඇත්තේ ය.
101 ඔබේ වචනය පිළිපදින පිණිස සියලු වැරදි මාර්ගවලින් මාගේ පාද වළක්වාගතිමි.
102 ඔබේ නියමයන්ගෙන් ඉවත් ව නොගියෙමි.
ඔබ ම මට ඒවා ඉගැන්වූ සේක.
103 ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද?
එසේ ය, ඒවා මාගේ කටට මී පැණිවලට වඩා මිහිරි ය.
104 ඔබේ නියෝග මඟින් මට නැණනුවණ ලැබේ.
එබැවින් සියලු වංක මාර්ග මම නුරුස්සන්නෙමි.

ව්‍යවස්ථාවෙන් එළිය

105 ඔබේ වචන මාගේ දෙපයට පහනක් ය;
මාගේ මාවතට එළියක් ය.
106 ‘ඔබේ දැහැමි නියමයන් පිළිපදින්නෙමි’යි දිවුළෙමි.
මම ඒවා ඉටු කෙළෙමි.
107 මම බොහෝ සේ පීඩිත වීමි.
සමිඳුනි, ඔබේ පොරොන්දු ප්‍රකාර මා ප්‍රාණවත් කළ මැනව.
108 සමිඳුනි, මාගේ මුවින් පැවසූ සතුටු පූජා පිළිගෙන, ඔබේ නියමයන් මට ඉගැන්නුව මැනව.
109 ඔබ උදෙසා මාගේ දිවි පිදීමට මම නිතර ම සූදානම් ය.
එහෙත්, ඔබේ ව්‍යවස්ථාව මම අමතක නොකරමි.
110 දුදනෝ මට මලපතක් තැබුවෝ ය.
එහෙත් මම, ඔබේ නියෝගවලින් ඉවත් ව නොගියෙමි.
111 ඔබේ ශික්ෂා පද සදහට ම උරුම කොටගතිමි.
ඒවා මසිතට ප්‍රීතිය ගෙන දෙයි.
112 සදහට ම, මරණය දක්වා ඔබේ පණත් ඉටු කරන්න මාගේ සිත යොමු කෙළෙමි.

ව්‍යවස්ථාවේ සුරක්ෂිතතාව

113 චපල සිත් ඇත්තවුන්ට ද්වේෂ කරමි;
එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි.
114 ඔබ මාගේ රක්ෂාස්ථානය වේ, මාගේ පලිහ වේ.
ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි.
115 දුදනෙනි, මා වෙතින් පලා යන්න.
මම මාගේ දෙවිඳුන්ගේ ආඥාවන් පිළිපදිමි.
116 මා ජීවත් වන පිණිස ඔබේ පොරොන්දු ප්‍රකාර මට ශක්තිය දුන මැනව.
මාගේ බලාපොරොත්තුව කඩ වීමෙන් ලජ්ජා වන්නට ඉඩ නෑරිය මැනව.
117 මට අනුබල දුන මැනව;
එවිට මම සුරැකි ව සිටින්නෙමි.
ඔබේ පණත් නිතර ම සලකන්නෙමි.
118 ඔබේ පණත්වලින් ඉවත් ව යන සියල්ලන් ඔබ පිළිකෙව් කළ සේක.
ඔවුන්ගේ කපටිකම නිෂ්ඵල ය.
119 ඔබ පොළොවේ සියලු දුෂ්ටයන් කුණු කසළ මෙන් පහකරන සේක.
එබැවින් මම ඔබේ ශික්ෂා පදවලට ප්‍රේම කරමි.
120 ඔබට බියෙන් මාගේ ගත සිත වෙවුලයි.
ඔබේ විනිශ්චයයන්ට මම බිය වෙමි.

ව්‍යවස්ථාවට කීකරු වීම

121 යුතු දේ ද දැහැමි දේ ද මම කෙළෙමි;
මට පීඩා කරන්නන් අතට මා භාර නොකළ මැනව.
122 ඔබේ මෙහෙකරුවාට යහපත කරන බවට පොරොන්දු වන්න.
මට පීඩා කිරීමට උඩඟු අයට ඉඩ නුදුන මැනව.
123 ඔබ දෙන ගැළවීම හා ඔබේ දැහැමි පොරොන්දුව ගැන අවදි ව සිටීමෙන් මාගේ ඇස් වෙහෙස වී ඇත.
124 ඔබේ ප්‍රේමය අනුව ඔබේ මෙහෙකරුවාට නිසි ලෙස සලකන්න.
ඔබේ පණත් මට උගන්වන්න.
125 මම ඔබේ මෙහෙකරුවා වෙමි.
ඔබේ ශික්ෂා පද දැනගන්න පිණිස මට නැණනුවණ දුන මැනව.
126 සමිඳුනි, ඔබට ක්‍රියා කිරීමට සුදුසු කාලය දැන් පැමිණ ඇත.
සෙනඟ ඔබේ ව්‍යවස්ථාව කඩකර ඇත.
127 එබැවින් රනට වඩා, එසේ ය, පෙරූ රනට වඩා ඔබේ ආඥාවලට මම ප්‍රේම කරමි.
128 එබැවින් ඔබේ නියමය අනුව මම හැසිරෙන්නෙමි;
සියලු වංක මාර්ග නුරුස්සමි.

ව්‍යවස්ථාව පිළිපැදීමට ආශාව

129 ඔබේ අණපණත් විස්මයජනක ය.
එබැවින් මාගේ මුළු සිතින් මම ඒවා පිළිපදින්නෙමි.
130 ඔබේ වචන පැහැදිලි වන විට ආලෝකය ලැබේ.
එයින් අනුවණයන්ට නුවණ ලැබේ.
131 ඔබේ ආඥාවලට පිපාසයෙන් සිටිමි.
මම මුව අයා හතිලන්නෙමි.
132 ඔබේ නාමයට ප්‍රේම කරන අයට ඔබ කරුණා කරන්නාක් මෙන් මා දෙසට හැරී මට කරුණා කළ මැනව.
133 ඔබ පොරොන්දු වූ ලෙස මා දෙපා තර කළ මැනව;
කිසි අයුක්තියකට මා කෙරෙහි බල පෑමට ඉඩ නුදුන මැනව.
134 මිනිසුන්ගේ හිරිහැරවලින් මා මුදාලුව මැනව;
එවිට ඔබේ නියෝග මම පිළිපදින්නෙමි.
135 දයාවෙන් මා දෙස බැලුව මැනව;
ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
136 මිනිසුන් ඔබේ ව්‍යවස්ථාව නොපිළිපදින බැවින් මාගේ දෑසින් කඳුළු ධාරා ගලා යයි.

ව්‍යවස්ථාවේ සාධාරණකම

137 සමිඳුනි, ඔබ දැහැමි ය;
ඔබේ විනිසුම් සාධාරණ ය.
138 ඔබ දැහැමිකමින් ද තිර විශ්වාසකමින් ද ඔබේ ශික්ෂා පද නියම කළ සේක.
139 මාගේ එදිරිකරුවන් ඔබේ වචනය නොසලකන නිසා මම කෝපාග්නියෙන් දැවෙමි.
140 ඔබේ පොරොන්දු සහතික ය.
එබැවින් ඔබේ මෙහෙකරුවා ඒවාට ප්‍රේම කරයි.
141 මම සුළු කෙනෙක්මි;
හීන දීන කෙනෙක්මි.
එහෙත්, ඔබේ නියෝග අමතක නොකරමි.
142 ඔබේ දැහැමිතාව සදාකාලික දැහැමිතාවක් වේ;
ඔබේ ව්‍යවස්ථාව ද සත්‍ය වේ.
143 විපත හා සිත් තැවුල් මා වෙළාගෙන තිබේ.
එහෙත්, ඔබේ ආඥා මාගේ ප්‍රීතිය වේ.
144 ඔබේ ශික්ෂා පද සදහට ම දැහැමි ය.
මා ජීවත් වන පිණිස මට නැණනුවණ දුන මැනව.

මිදීම සඳහා යැදුමක්

145 මම මුළු හදවතින් යාච්ඤා කෙළෙමි.
සමිඳුනි, මට පිළිතුරු දුන මැනව.
ඔබේ අණපණත් මම පිළිපදින්නෙමි.
146 මම ඔබට අඬගැසීමි;
මා මුදාලුව මැනව.
එවිට ඔබේ ශික්ෂා පද මම පිළිපදින්නෙමි.
147 මම අලුයමට පෙර නැඟිට මොරගැසීමි;
ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තු වීමි.
148 ඔබේ පොරොන්දුව ගැන භාවනා කරන පිණිස රෑ යාමය මුළුල්ලේ මම අවදි ව සිටිමි.
149 ඔබේ ප්‍රේමය ස්ථිර නිසා මාගේ හඬ ඇසුව මැනව.
සමිඳුනි, ඔබේ යුක්තිය ලෙස මා දිවි රැකගත මැනව.
150 නපුරු අරමුණු ඇති ව මට පීඩා කරන දුදනෝ මට ළඟා වෙති.
ඔව්හු ඔබේ ව්‍යවස්ථාවෙන් ඈත් ව සිටිති.
151 සමිඳුනි, ඔබ ළඟා වී සිටින සේක.
ඔබේ සියලු ආඥා සත්‍ය ය.
152 ඔබේ ශික්ෂා පද කලක සිට දැන සිටියෙමි.
ඔබ ඒවා සදහට ම පැණවූ සේක.

උපකාර ඉල්ලා යැදීම

153 මාගේ දුක බලා මා ගැළෙවුව මැනව.
ඔබේ ව්‍යවස්ථාව මම අමතක නොකෙළෙමි.
154 මාගේ නඩුව අසා මා මිදුව මැනව;
ඔබේ පොරොන්දුව ලෙස මට නව දිවියක් දුන මැනව.
155 දුදනන් හට ගැළවීමක් නැත;
ඔව්හු ඔබේ පණත් නොසලකති.
156 සමිඳුනි, ඔබේ අනුකම්පාව ඉමහත් ය.
ඔබේ නියමයන් ලෙස මට නව දිවියක් දුන මැනව.
157 මට පීඩා කරන්නෝ ද මාගේ එදිරිකාරයෝ ද බොහෝ ය.
එහෙත් මම, ඔබේ ශික්ෂා පදවලින් ඉවත් ව නොගියෙමි.
158 ද්‍රෝහිකම් කරන්නන් දැක මම ඔවුන් පිළිකුල් කෙළෙමි.
ඔව්හු ඔබේ නියමයන් නොපිළිපදිති.
159 ඔබේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි සිතා බැලුව මැනව.
සමිඳුනි, ඔබේ පෙම තිර නිසා මට නව දිවියක් දුන මැනව.
160 ඔබේ ව්‍යවස්ථාවේ හරය සත්‍යය වේ.
ඔබේ සියලු දැහැමි විනිසුම් සදහට පවත්නේ ය.

ව්‍යවස්ථාවට ඇප කැප වීම

161 අධිපතීහු නිකරුණේ මට පීඩා කළෝ ය.
එහෙත් මම, ඔබේ ව්‍යවස්ථාවට ගරු කරමි.
162 මහා නිධානයක් ලබන කෙනෙකු මෙන් මම ඔබේ පොරොන්දුව ගැන ප්‍රීතිමත් වෙමි.
163 මුසාවට ද්වේෂ කරමි;
එය පිළිකුල් කරමි.
එහෙත්, ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරමි.
164 ඔබේ දැහැමි විනිශ්චයයන් නිසා දවසට සත් වරක් මම ඔබට ප්‍රශංසා කරමි.
165 ඔබේ ව්‍යවස්ථාවට ප්‍රේම කරන්නන්ට ඉමහත් සාමයක් ඇත.
කිසි අවහිරයක් ඔවුන්ට නැත.
166 සමිඳුනි, ඔබේ ගැළවීම ගැන උදක් ම බලා සිටිමි.
ඔබේ ආඥා ඉටු කෙළෙමි.
167 මම ඔබේ ශික්ෂා පද පිළිපැදීමි.
මම ඒවාට බොහෝ සෙයින් ප්‍රේම කරමි.
168 මම ඔබේ නියෝග හා ශික්ෂා පද පිළිපැදීමි.
මාගේ දිවි මඟ ඔබ ඉදිරියෙහි ය.

පිහිට පතා යැදීම

169 සමිඳුනි, මාගේ මොරගැසීම ඔබ ඉදිරියට පැමිණේ වා!
ඔබේ පොරොන්දුව අනුව මට නැණනුවණ දුන මැනව.
170 මාගේ අයැදීම ඔබ ඉදිරියට පැමිණේ වා!
ඔබේ පොරොන්දුව ලෙස මා මිදුව මැනව.
171 ඔබේ පණත් ඔබ මට උගන්වන බැවින් මා මුව ඔබට පැසසුම් ගී පිළිරැව් දේ වා!
172 ඔබේ සියලු ආඥා සාධාරණ ය;
මම ඔබේ ව්‍යවස්ථාව ගැන ගී ගයමි.
173 ඔබේ හස්තය මට උපකාර පිණිස සූදානම් වේ වා!
මම ඔබේ නියෝග අනුව යමි.
174 සමිඳුනි, මම ඔබ දෙන ගැළවීමට ආසා වෙමි.
ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය වේ.
175 ඔබට ප්‍රශංසා කරන පිණිස මට ජීවත් වන්නට ඉඩ දුන මැනව.
ඔබේ නියමයෝ මට උපකාරවත් වෙත් වා!
176 නැති වූ බැටළුවෙකු මෙන් මම මුළා ව ගියෙමි.
ඔබේ මෙහෙකරුවා වන මා සොයා එනු මැනව.
මම ඔබේ ආඥා අමතක නොකරමි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW