ගීතාවලිය – 116 වන පරිච්ඡේදය –

මරණින් මිදීම ගැන ස්තුති දීම

1 සමිඳුන්ට ප්‍රේම කරමි, මන්ද, එතුමාණෝ මගේ අයැදුම ද මාගේ කන්නලව්ව ද ඇසූ සේක.
2 එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමන්ට යාච්ඤා කරන්නෙමි.
3 මාරක රැහැනෙන් මම වෙළුණෙමි.
පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය;
විපත හා දුක මා වෙළාගත්තේ ය.
4 එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයැදිමි;
”සමිඳුනි, මා මිදුව මැනවැ”යි කීමි.
5 සමිඳාණෝ දයාවන්ත ය; දැහැමි ය. එසේ ය, අපේ දෙවිඳාණෝ අනුකම්පාවෙන් යුක්ත ය.
6 සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක.
මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක.
7 මාගේ සිත, යළි සන්සුන් වන්න.
මන්ද, සමිඳාණෝ ඔබට බොහෝ සේ යහපත්කම් කළ සේක.
8 එතුමාණෝ මාගේ ජීවිතය මරණයෙන් ද මාගේ ඇස් කඳුළෙන් ද මාගේ පාද පැකිළීමෙන් ද ගළවාගත් සේක.
9 එසේ හෙයින්, මම ජීවතුන් අතර සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි.
10 ”මම බොහෝ පීඩා විඳිමි”යි කී අතර වුව ද මාගේ විශ්වාසය තිර ලෙස රැකගතිමි.
11 මා භීතියට පත් ව සිටිය දී, ”මිනිසෙකු තුළ බලාපොරොත්තුව තැබීම නිෂ්ඵල ය”යි කීවෙමි.
12 සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම් ද?
13 මම ගැළවීමේ කුසලාන ගන්නෙමි;
සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරන්නෙමි.
14 එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර මම ඉටු කරන්නෙමි.
15 සැදැහැවතුන්ගේ මරණය සමිඳුන් අබියස අගනේ ය.
16 සමිඳුනි, මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි;
සැබැවින් ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි;
ඔබේ දාසිගේ පුත්‍රයා වෙමි.
ඔබ මාගේ බැඳුම් මිදූ සේක.
17 මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි;
සමිඳුන්ගේ නාමය අමතා අයැදින්නෙමි.
18 එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර ඉටු කරන්නෙමි,
19 සමිඳුන්ගේ මාලිගාවේ මළුවල දීත්, එම්බා ජෙරුසලම!
තී මධ්‍යයෙහි දීත් එසේ කරන්නෙමි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW