ගීතාවලිය – 111 වන පරිච්ඡේදය –

සමිඳුන් පැසසුමෙහි යුතු බව

1 සමිඳුන් පසසන්න, දැහැමියන්ගේ සමාගමේ දී ද සභාවේ දී ද මාගේ මුළු සිතින් සමිඳුන්ට ස්තුති කරන්නෙමි.
2 සමිඳුන්ගේ ක්‍රියා කොපමණ උදාර ද?
ඒවාට ප්‍රිය වන සියල්ලෝ ඒවා තේරුම්ගැනීමට උත්සාහ කරති.
3 එතුමන්ගේ ක්‍රියා ගෞරවයෙන් හා මහිමයෙන් පූර්ණ ය;
එතුමන්ගේ දැහැමිකම සදාතන ය.
4 සිය පුදුම ක්‍රියාවන් අපට අමතක වන්නට ඉඩ නාරින සේක.
සමිඳාණෝ, දයාවන්ත ය; සානුකම්පිත ය.
5 එතුමාණෝ තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට ආහාර දෙන සේක.
එතුමාණෝ සිය ගිවිසුම කිසි කලක අමතක නොකරන සේක.
6 එතුමාණෝ විජාතීන්ගේ දේශයන් තමන් සෙනඟට දීමෙන් තමන් බලය ඔවුන්ට පෙන්වූ සේක.
7 එතුමන්ගේ ක්‍රියා සත්‍යය හා යුක්තිය ප්‍රකාශ කරයි;
එතුමන්ගේ පණත් සියල්ල විශ්වාසී ය.
8 ඒවා සදහට ම පවතිනු ඇත.
සත්‍යයෙන් හා අවංකකමෙන් ඒවා සිදු කරන ලද්දේ ය.
9 එතුමාණෝ සිය සෙනඟ මුදා ලූ සේක;
සිය ගිවිසුම සදහට ම පිහිටෙවු සේක.
එතුමන්ගේ නාමය සුවිශුද්ධ ය; ගරු ගම්භීර ය.
10 දේව ගරුබිය පෑම ප්‍රඥාවේ මුල් පියවර වේ;
එය පිළිපදින සියල්ලන්ට මනා බුද්ධිය ඇති වන්නේ ය.
එතුමන්ගේ ප්‍රශංසාව සදාකල් පවත්නේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW