ගීතාවලිය – 110 වන පරිච්ඡේදය –

සමිඳාණෝ තෝරාගත් පූජක රජ

දාවිත්ගේ ගීතයකි.
1 සමිඳාණෝ මා සමිඳුන්ට කතා කොට, ”මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”යි වදාළ සේක.
2 සමිඳාණන් සියොන්හි සිට ජයකොන්තය ඔබ අතට දුන් විට ඔබේ සතුරන් මැද රජකම් කළ මැනව.
3 ඔබ සතුරන් සමඟ සටන් කරන දවසේ දී ඔබේ සෙනඟ සිය කැමැත්තෙන් ඔබට එකතු වන්නෝ ය.
අලුයම පිනි මෙන්, ඔබේ තරුණයෝ ඔබ වෙත පැමිණෙති.
4 ”නුඹ මෙල්කිසදෙක්ගේ පරපුරෙන් සදහට ම පූජකයෙක් ය”යි සමිඳාණෝ දිවුළ සේක;
එය වෙනස් නොකරන සේක.
5 සමිඳාණෝ ඔබ දකුණු පස වැඩ සිටින සේක.
උදහස් දිනයේ දී එතුමාණෝ රජුන්ගේ ඔද බිඳදමන සේක.
6 එතුමාණෝ ජාතීන් අතරෙහි විනිශ්චය කරන සේක;
මළකඳන්වලින් රණ බිම පුරවන සේක.
ලොව පුරා සිටින රජවරුන් පරාජය කරන සේක.
7 රජතුමා යන මඟ අසල ඇති දොළ පහරින් දිය පානය කරනු ඇත;
එයින් ශක්තිමත් කරනු ලැබ සටනින් ජයග්‍රාහී වනු ඇත.

Suba Asna - සුබ අස්න

FREE
VIEW