ගීතාවලිය – 109 වන පරිච්ඡේදය –

විපතට පත්වූවෙකුගේ විලාපය

දාවිත්ගේ ගීතයකි.
1 මාගේ පැසසුම වන හිමි දෙවිඳුනි, නිහඬ ව නොසිටිය මැනව.
2 මන්ද, දුෂ්ටයන් ද රැවටිලිකාරයන් ද මට බැණ වැදී ඇත;
ඔව්හු මට විරුද්ධ ව බොරු චෝදනා නඟති.
3 ඔව්හු ද්වේෂ සහගත වචනවලින් මට පහර දෙති;
මට විරුද්ධ ව නිකරුණේ සටන් කරති.
4 මා ඔවුන්ට ප්‍රේම කළත්, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළත් ඔව්හු මට විරුද්ධ ව චෝදනා නඟති.
5 තවද, ඔව්හු මා කළ යහපතට අයහපත කරති;
ප්‍රේමයට වෛරය දක්වති.
6 මාගේ සතුරාට විරුද්ධ ව කුරිරු විනිශ්චයකරුවෙකු පත් කළ මැනව.
ඔහුගේ ම සතුරෙකු පැමිණිලිකරුවෙකු මෙන් ඉදිරිපත් කළ මැනව.
7 විනිශ්චයයේ දී ඔහු වරදකරු වේ වා!
ඔහුගේ යාච්ඤාව ද පාපයක් මෙන් ගණන් ගැනේ වා!
8 ඔහු වැඩිකල් ජීවත් නො වේ වා!
ඔහුගේ තනතුර අනිකෙක් ගනී වා!
9 ඔහුගේ දරුවෝ අනාථයෝ වෙත් වා!
ඔහුගේ බිරිඳ ද වැන්දඹුවක් වේ වා!
10 ඔහුගේ දරුවෝ ඉබාගාතේ යමින් සිඟා කත් වා!
ඔවුන් වාසය කරන පැල්පත්වලින් ඔව්හු පලවා හරිනු ලබත් වා!
11 ණය හිමියා ඔහු සන්තක සියල්ල ම පැහැර ගනී වා!
ඔහු වෙහෙස වී සපයා ගත් සියල්ල විදේශිකයෝ කොල්ලකත් වා!
12 ඔහුට කරුණා කරන්න කිසිවෙක් නො වේ වා!
ඔහුගේ අනාථ දරුවන්ට අනුකම්පා කරන්න කිසිවෙක් නොසිටී වා!
13 ඔහුගෙන් පැවත එන්නෝ වැනසී යත් වා!
මීළඟ පරම්පරාවේ දී ඔවුන්ගේ නම මැකී යේ වා!
14 ඔහුගේ පියවරුන්ගේ අයුතුකම සමිඳුන් ඉදිරියෙහි සිහිකරනු ලැබේ වා!
ඔහුගේ මවගේ පාප නොමැකේ වා!
15 සමිඳාණෝ ඔවුන්ගේ පව් නිතර ම සිහි කරන සේක් වා!
මිහි මත කිසිවෙක් ඔහු සිහි නොකෙරේ වා!
16 මේ මිනිසා, දයාව දැක්වීම අමතක කර දුප්පතා හා දිළිඳා ද බිඳුණු සිත් ඇත්තා ද මරුමුවට යන තෙක් පීඩා කෙළේ ය.
17 එසේ ය, සාප කිරීමට ඔහු ප්‍රිය විය;
ඒ සාපය ඔහු පිට ම පැමිණේ වා!
ඔහු ආශීර්වාද කිරීමට ප්‍රිය නො වී ය, ඒ ආශීර්වාදය ඔහුගෙන් දුරු වේ වා!
18 ඔහු තමාගේ වස්ත්‍රය ඇඳගන්නාක් මෙන් පහසුවෙන් සාප කෙළේ ය.
ඒ සාපය ඔහු තුළට දිය මෙන් ද ඔහුගේ ඇට තුළට තෙල් මෙන් ද උරාගනු ලැබේ වා!
19 ඇඟ දවටන සළුව මෙන් ද නිතර බඳින ඉඟ පටිය මෙන් ද ඒ සාපය ඔහු සමඟ නවතී වා!
20 මාගේ එදිරිකාරයන්ටත්, මට විරුද්ධ ව නපුරු දේ කියන්නන්ටත් සමිඳුන්ගෙන් ලැබෙන විපාකය ඒ සාපය වේ වා!
21 එහෙත්, මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ පොරොන්දු වූ පරිදි මට පිහිට වුව මැනව;
ඔබේ තිර පෙම යහපත් බැවින් මා මුදාගත මැනව.
22 මන්ද, මම දුප්පත් ය;
අසරණ ය;
මා සිත සන්තාපයෙන් පෙළෙයි.
23 මම සවස සෙවණැල්ලක් මෙන් පහ වී යමි;
මම පළඟැටියෙකු මෙන් සුළඟට ගසාගෙන යනු ලබමි.
24 නිරාහාර ව සිටීමෙන් මාගේ මාංසය වැහැරී යෑම නිසා මා කෙසඟ වී ඇත.
25 මම ඔවුන්ගේ නින්දාවට ලක් වී සිටිමි;
ඔව්හු මා දකින විට සරදම් කරමින් හිස් වනති.
26 මාගේ දෙවි සමිඳුනි, මට පිහිට වුව මැනව;
ඔබේ තිර පෙම ප්‍රකාරයට මා ගැළෙවුව මැනව.
27 එවිට මෙය, ඔබේ ක්‍රියාවක් බවත්, සමිඳුනි, ඔබ මෙය කළ බවත් ඔව්හු දැනගනිත් වා!
28 ඔවුන් මට සාප කරතත් ඔබ මට ආශීර්වාද කළ මැනව.
මට පීඩා කරන්නෝ ලජ්ජාවට පත් වෙත් වා!
ඔබේ මෙහෙකරුවා වන මම ප්‍රීතියට පත් වෙම් වා!
29 මාගේ එදිරිකාරයෝ අගෞරවයෙන් වැසී යෙත් වා!
උතුරු සළුවකින් මෙන් ඔවුන්ගේ ලජ්ජාව ඔව්හු වසාගනිත්වා.
30 මාගේ මුවින් සමිඳුන්ට බොහෝ සෙයින් තුති කරන්නෙමි;
එසේ ය, මහා සභාවේ දී එතුමන්ට ප්‍රශංසා කරන්නෙමි.
31 දිළිඳා මරණයට තීන්දු කරන්නන්ගෙන් ඔහු ගළවන පිණිස එතුමාණෝ ඔහුට ආරක්ෂාව වී සිටින සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW