ගීතාවලිය – 106 වන පරිච්ඡේදය –

ජාතික පාපෝච්චාරණයක්

1 සමිඳුන් පසසන්න;
සමිඳුන්ට තුති පුදන්න;
මන්ද, එතුමාණෝ යහපත් ය;
එතුමන්ගේ තිර පෙම සදහට ම පවතින්නේ ය.
2 සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා කියන්නත්, එතුමන්ගේ සියලු පැසසුම් ගයන්නත් පුළුවන් කවරෙකුට ද?
3 යුක්තිය රක්නා අය ද හැම කල්හි දමිටුකම් කරන අය ද භාග්‍යවන්තයෝ ය.
4 සමිඳුනි, ඔබේ සෙනඟට කරුණාව දක්වන විට මා සිහි කළ මැනව;
ඔවුන් ගළවන විට මට උපකාර කළ මැනව.
5 ඔබේ තෝරාගත් සෙනඟගේ ශුභසිද්ධිය දකින්නත්, ඔබට අයිති අය සමඟ ජය ගී ගයන්නත්, ඔබේ උරුමයෙන් මහිමය ලබන්නත් මට ඉඩ දුන මැනව.
6 අපි අපේ පියවරුන් මෙන් පව් කෙළෙමු;
නපුරුකම් කෙළෙමු;
දුෂ්ට ලෙස ක්‍රියා කෙළෙමු.
7 අපේ පියවරු මිසරයේ දී ඔබේ පුදුම ක්‍රියා තේරුම් නොගත්තෝ ය.
ඔබේ අසීමිත ප්‍රේමය සිහි නොකළෝ ය.
රතු මුහුද ළඟ දී මහෝත්තමයාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය.
8 එසේ වුව ද එතුමාණෝ සිය බල විකුම් දක්වන පිණිස තම නාමයේ අනුහසින් ඔවුන් ගැළවූ සේක.
9 එතුමාණෝ රතු මුහුදට තරවටු කළ සේක;
එය වියළුණේ ය.
වැලිකතරක් මැදින් මෙන් මුහුද මැදින් ඔවුන් ගෙන ගිය සේක.
10 ඔවුන්ට වෛර වූ අයගේ අතින් ඔවුන් ගැළවූ සේක;
සතුරන් අතින් ඔවුන් මිදූ සේක.
11 ජල කඳ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තේ ය;
එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය.
12 එවිට, ඔව්හු එතුමන්ගේ පොරොන්දු විශ්වාස කළෝ ය;
එතුමන් හට පැසසුම් ගී ගැයූ හ.
13 එහෙත්, ඔව්හු එතුමන්ගේ ක්‍රියා වහා අමතක කළෝ ය;
එතුමන්ගේ අවවාද නොතකා ක්‍රියා කළෝ ය.
14 ඔව්හු පාළුකරයේ දී අධික ලෙස තෘෂ්ණාවෙන් පිරී දෙවිඳුන්ට අභියෝග කළෝ ය.
15 ඒ නිසා ඔවුන් ඉල්ලූ දේ එතුමාණෝ ඔවුන්ට දුන් සේක:
එහෙත්, ඔවුන් වනසන රෝගයක් ද එවූ සේක.
16 කඳවුරේ දී, ඔව්හු මෝසෙස්ටත්, සමිඳුන්ගේ ශුද්ධ තැනැත්තා වූ ආරොන්ටත් ඊර්ෂ්‍යා කළෝ ය.
17 එවිට පොළොව විවර වී දාතාන් ගිලගත්තා ය;
අබිරාම් සහ ඔහුගේ සෙනඟ පසට යට කළා ය.
18 ඔවුන්ගේ කණ්ඩායම මැද ගින්නක් ඇවුළුණේ ය.
ගිනිදැල් දුෂ්ටයන් දවාදැමී ය.
19 ඔව්හු හොරෙබ් කන්දෙහි වස්සෙකු සාදා වාත්තු රූපයකට නමස්කාර කළෝ ය.
20 මෙසේ ඔව්හු, දෙවිඳුන්ගේ මහිමය තණ බුදින ගවයෙකුගේ ස්වරූපයට වෙනස් කළෝ ය.
21 මිසරයේ දී බලවත් ක්‍රියා කර, ඔවුන් ගළවාගත් දෙවිඳුන් ඔව්හු අමතක කළෝ ය.
22 එතුමාණෝ, ඒ දේශයේ දී අරුමපුදුම ක්‍රියා ද රතු මුහුද ළඟ බියකරු ක්‍රියා ද කළ තැනැන් වහන්සේ නොවන සේක් ද?
23 එබැවින් එතුමාණෝ ඔවුන් විනාශ කරන බව වදාළ සේක.
එහෙත්, එතුමාණන් ඔවුන් විනාශ නොකරන ලෙස, දේව උදහස පහකරන පිණිස, එතුමාණන් තෝරාගත් මෝසෙස් එතුමාණන් ඉදිරියේ මැදහත් වූයේ ය.
දේව කෝපයෙන් ඔවුන් විනාශ කිරීම වැළැක්විය.
24 එවිට ඔව්හු සුන්දර දේශය හෙළා දැක්කෝ ය, මන්ද, එතුමන්ගේ පොරොන්දුව ඔව්හු විශ්වාස නොකළෝ ය.
25 ඔව්හු තමන්ගේ කූඩාරම්වල දී මැසිවිලි දෙඩුවෝ ය;
සමිඳුන්ගේ හඬට සවන් නුදුන්නෝ ය.
26-27 එබැවින්, ඔවුන් පාළුකරයේ දී මරා දමන බවත්, ඔවුන්ගේ සෙනඟ විජාතීන් අතරේ මිය යාමට සලසන බවත්, දේශවල ඔවුන් විසුරුවා හරින බවත් වදාරා එතුමාණෝ අත ඔසවා
දිවුළ සේක.
28 එවිට ඔව්හු පෙයොර්හි බාල් නමස්කාරයට රැස් වූවෝ ය;
මළවුන්ට පිදූ දේ කෑවෝ ය.
29 මෙසේ ඔව්හු තමන්ගේ ක්‍රියාවලින් එතුමාණන් කුපිත කළහ.
ඒ නිසා වසංගතයක් ඔවුන් අතරට පැමිණියේ ය.
30 එවිට, පිනෙහාස් නැඟිට ඔවුන් අතරෙන් වරදකරුවන්ට නිසි දඬුවම් දුන්නේ ය.
මෙසේ වසංගතය නතර විය.
31 පරපුරෙන් පරපුරට සදහට ම ඔහුගේ දැහැමි ගුණයක් වශයෙන් මෙය සිහිකරනු ඇත.
32 සෙනඟ මෙරිබාහි දිය උල්පත ළඟදීත් එතුමාණන් කෝප කළහ.
එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට දුක් කරදර ඇති විය.
33 එසේ වූයේ, ඔවුන් ඔහුගේ සිත අතිශයෙන් රිදවූ නිසා, ඔහු සිය මුවින් අනුවණ ලෙස කතා කළ බැවිනි.
34 සමිඳුන් ඔවුන්ට අණ කළ ලෙස ඔව්හු විජාතීන් විනාශ නොකළෝ ය.
35 ඔවුන් සමඟ මිශ්‍ර විවාහ කරගෙන විජාතීන්ගේ ක්‍රියා කරන්න ඔව්හු ඉගෙනගත්තෝ ය.
36 ඔව්හු ඔවුන්ගේ රූපවලට නමස්කාර කළෝ ය.
ඒවා ඔවුන්ට මලපතක් විය.
37 ඔව්හු තමන්ගේ දරුදැරියන් යක්ෂයන්ට පූජා කළෝ ය.
38 ඔව්හු තම දූ පුතුන්ගේ නිදොස් ලේ වැගිරෙව්වෝ ය;
ඒ දූ දරුවෝ කානානි රූපවලට යාගකරනු ලැබුවෝ ය;
දේශය ද ඒ ලෙයින් දූෂණය විය.
39 මෙසේ ඔව්හු මෙවැනි ක්‍රියාවලින් අපිරිසිදු වූ හ.
ඔව්හු දෙවිඳුන් හට විශ්වාසී ව නොසිට වෙසඟනන් මෙන් හැසුරුණෝ ය.
40 එබැවින් සමිඳුන්ගේ උදහස තමන් සෙනඟට විරුද්ධ ව ඇවුළුණේ ය.
එතුමාණෝ තමන් උරුම කරගත් දේශය පිළිකුල් කළ සේක.
41 එතුමාණෝ විජාතීන් අතට ඔවුන් පාවා දුන් සේක.
ඔවුන්ට වෛර කළ අය ඔවුන් පාලනය කළෝ ය.
42 ඔවුන්ගේ සතුරෝ ද ඔවුන්ට පීඩා කළෝ ය;
ඔව්හු සතුරන්ගේ බලයට යටත් කරනු ලැබුවෝ ය.
43 එතුමාණෝ බොහෝ වර සිය සෙනඟ මිදූ සේක.
එහෙත්, ඔව්හු ඉන් පසුත් අකීකරු ව කැරලි ගැසූ බැවින්,
සිය අයුතුකම නිසා නින්දා කරනු ලැබුවෝ ය.
44 එසේ වී නමුත්, එතුමාණෝ ඔවුන්ගේ විලාපය ඇසූ සේක;
ඔවුන්ගේ විපත්තිය සලකා බැලූ සේක.
45 ඔවුන් සමඟ කළ ගිවිසුම සිහි කළ සේක;
තමන්ගේ මහා කරුණාව නිසා ඔවුන්ට අනුකම්පා කළ සේක.
46 ඔවුන් වහල්කමට ගෙන ගිය සියල්ලන්ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්නට සැලැසූ සේක.
47 අපේ දෙවි සමිඳුනි, අප ගළවාගත මැනව;
විජාතීන් අතරෙන් අප එක් රැස් කරගත මැනව.
එවිට ඔබේ ශුද්ධ නාමයට තුති පුදන්නෙමු;
ඔබ පසසමින් ප්‍රීති වන්නෙමු.
48 ඉශ්රායෙල් දෙවි සමිඳුන්ට සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා!
මුළු සෙනඟ ආමෙන් කියත් වා!
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

Suba Asna - සුබ අස්න

FREE
VIEW