ගීතාවලිය – 104 වන පරිච්ඡේදය –

මැවුම්කරුට ප්‍රශංසාවක්

1 මාගේ සිත, සමිඳුන් පසසන්න.
මාගේ දෙවි සමිඳුනි, ඔබ ඉතා උතුම් ය, ඔබ තෙද මහිමයෙන් සැරසී සිටින සේක.
2 ඔබ ආලෝකය නමැති වස්ත්‍රය හැඳ පැළඳ සිටින සේක;
වියනක් මෙන් අහස විහිදාලන සේක.
3 ඔබේ මාලිගාව ඉහළ දිය කඳ මත පිහිටුවන සේක;
වලාකුළු ඔබේ රිය කරගන්න සේක.
4 සුළඟ ඔබේ දූතයන් ද ගිනි දලු ඔබේ සේවකයන් ද කරගන්න සේක.
5 පොළොව කිසි කලෙක නොසැලෙන ලෙස එය තිර පදනමක් මත පිහිටෙවූ සේක.
6 උතුරු සළුවකින් මෙන් මහා සයුරෙන් ඔබ එය වැසූ සේක;
ජලයෙන් කඳු හෙල් වැසී ගියේ ය.
7 ඔබේ තරවටුවෙන් ජලය පලා ගියේ ය;
ඔබේ තර්ජනයෙන් එය යුහුව ගලා ගියේ ය.
8 ජලය කඳු උඩින් ගලා ගියේ ය.
ඔබ සූදානම් කළ ස්ථානය වන මිටියාවතට එය බැස ගියේ ය.
9 ජලයෙන් පොළොව යළිත් වැසී නොයන පිණිස ඉක්මවා ගිය නොහැකි සීමාවක් ඔබ එයට නියම කළ සේක.
10 සමිඳාණෝ මිටියාවත්වල උල්පත් හටගන්වන සේක.
ඒවා කඳු අතරේ ගලා යයි.
11 ඒවා සියලු වන සතුන්ට බීමට දිය දෙයි;
වල් කොටළුවෝ එයින් පිපාසා සංසිඳුවා ගනිති.
12 ඒවා අසල, අහසේ පක්ෂීහු කැදලි සාදති;
අතු අතරේ ගී නද දෙති.
13 එතුමාණෝ අහස් තලයෙන් කඳුකරයට වැසි වස්වන සේක.
එතුමන්ගේ ආසිරිවලින් පොළොව සාරවත් වන්නේ ය,
14 එතුමාණෝ, සිවුපාවුන්ට තණ කොළත්, මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගස් කොළත් පොළොවේ වැඩෙන්නට සලසන සේක.
මිනිසාට ආහාර නිපදවන සේක.
15 තවද, ඔබ මිනිසාගේ හද සතුටු කරන මිදියුස ද වත පැහැපත් කරන තෙල ද ගත සවිමත් කරන අහර ද සපයන සේක.
16 සමිඳුන් ම පැළ කරවූ ලෙබනොන්හි කිහිරි ගස්,
සමිඳුන්ගේ ම ඒ ගස් බොහෝ වතුර ලබයි.
17 කුරුල්ලෝ ඒ ගස්වල කූඩු සාදාගනිති.
මාන කොක්කු දේවදාර ගස් මුදුන්හි කැදලි තනාගනිති.
18 වල් එළුවන්ගේ වාසය උස් කඳුවල වේ.
සාවුන්ගේ රැකවරණය පර්වත වේ.
19 මාස වෙන් කර දක්වන පිණිස එතුමාණෝ සඳ සෑදූ සේක;
බැස යා යුතු වේලාව හිරු දනියි.
20 ඔබ අඳුර පමුණුවන සේක;
එවිට රැය වේ.
එකල සියලු වන මෘගයෝ බැහැරට එති.
21 සිංහ පොව්වෝ ගොදුරට සිහ නද කරති.
උන් දෙවිඳුන්ගෙන් ගොදුරු ඉල්ලති.
22 හිරු උදා වන කල ඒ සත්තු ආපසු යති;
ගුහාවලට වැද ලැගුම් ගනිති.
23 එහෙත් මිනිසා, සවස දක්වා වැඩ කරන පිණිස නික්ම යයි.
24 සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද?
ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක.
පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත;
25 අර තිබෙන්නේ සුවිසල් සාගරය!
එහි ලොකු කුඩා සත්ත්වයෝ ගණන ඉක්මවා සැරිසරති.
26 එහි ඔබමොබ නැව් යාත්‍රා කරයි;
ඔබ මැවූ ලෙවියාතන් නම් මුහුදු සර්පයා එහි ක්‍රීඩා කරයි.
27 උන්ගේ කෑම නියම කලට ලබන පිණිස උන් සියලු දෙන ඔබ දෙස බලා සිටිති.
28 ඔබ උන්ට දෙන දේ උන් එකතු කර ගනිති.
ඔබේ අත විදහන විට උන් කුසගින්න නිවාගනිති.
29 ඔබේ මුහුණ ඔබ සඟවන කල උන් කැළඹෙති.
ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී, දූවිලි බවට හැරී යති.
30 එහෙත්, ඔබ උන්ට හුස්ම දෙන කල උන් යළිත් මවනු ලබති.
ඔබ පොළො‍් තලයට නව දිවියක් දෙන සේක.
31 සමිඳුන්ගේ මහිමය සදහට ම පවතී වා!
සමිඳාණෝ තමන් මැවූ සියල්ල ගැන සතුටු වෙත් වා!
32 එතුමාණන් පොළොව දෙස බලන කල එය කම්පා වේ;
කඳු ස්පර්ශ කරන කල ඒවායින් දුම් නඟියි.
33 මම දිවි ඇති තාක් සමිඳුන්ට ගී ගයන්නෙමි;
පණ ඇති තාක් දෙවිඳුන්ට පසස් ගී ගයන්නෙමි.
34 මාගේ භාවනාව සමිඳුන්ට ප්‍රසන්න වේ වා!
මන්ද, මගේ ප්‍රීතිය එන්නේ එතුමන්ගෙන් ය.
35 පව්කාරයෝ පොළො‍් තලයෙන් විනාශ වී යත් වා!
දුෂ්ටයෝ තවත් ජීවත් නොවෙත් වා!
මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරා වා!
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!

Suba Asna - සුබ අස්න

FREE
VIEW