ගීතාවලිය – 103 වන පරිච්ඡේදය –

දේව ප්‍රේමය

1 මාගේ සිත, සමිඳුන් පසසන්න;
හද පත්ලෙන් ම එතුමන්ගේ ශුද්ධ නම පසසන්න.
2 මාගේ සිත, සමිඳුන් පසසන්න;
එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.
3 එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක;
මාගේ සියලු රෝග සුව කරන සේක.
4 මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක;
ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක.
5 රාජාලියෙකුගේ මෙන් මාගේ යොවුන් බව අලුත් කරන පිණිස,
දිවි ඇති තාක් මා යහපත් දෙයින් තෘප්තියට පමුණුවන සේක.
6 සමිඳාණෝ සාධාරණ ලෙස ක්‍රියා කරන සේක.
පීඩිතයන්ට එතුමාණෝ යුක්තිය ඉටු කරන සේක.
7 සමිඳාණෝ ස්වකීය මාර්ග මෝසෙස්ටත්, තම බලවත් ක්‍රියා ඉශ්රායෙල් සෙනඟටත් දැක් වූ සේක.
8 සමිඳාණෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණ ය;
නොකිපෙන සුලු ය, අතිශයින් කරුණාවන්ත ය.
9 එතුමාණෝ නිතර තරවටු නොකරන සේක;
සදහට ම සිතෙහි කෝපය තබා නොගන්න සේක.
10 එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක;
අපේ අයුතුකම්වලට සැසඳෙන ලෙස ප්‍රතිවිපාක නොදෙන සේක.
11 මන්ද, පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නාක් මෙන් එතුමාණන් කෙරෙහි ගරුබිය පාන අයට එතුමාණන්ගේ කරුණාව මහත් ය.
12 නැගෙනහිරෙන් බටහිර ඈත් ව තිබෙන්නාක් මෙන් එතුමාණෝ අපේ පාප අපෙන් දුරු කරන සේක.
13 පියෙකු දරුවන්ට අනුකම්පා කරන සේ සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට අනුකම්පා කරන සේක.
14 මන්ද, එතුමාණෝ අපේ ස්වරූපය දන්න සේක;
අප ධූලි බව සිහි කරන සේක.
15 මිනිසාගේ ජීවිත කාලය තණ පත් වැනි ය, ඔහු කෙතේ කුසුමක් මෙන් සරු ලෙස වැඩේ;
16 එහෙත්, සුළං පහර වැදී එය නැති වී යයි;
එය තිබුණ තැන වත් දක්නට නොලැබේ.
17 සමිඳුන්ගේ තිර පෙම, තමන්ට ගරුබිය පාන අය කෙරෙහි සදාකාලයෙන් සදාකාලයට වේ.
18 එතුමන්ගේ ගිවිසුම රක්ෂා කරන්නන්ටත්, එතුමන්ගේ ශික්ෂාවන් ඉටු කිරීමට ඒවා මෙනෙහි කරන්නන්ටත්,
එතුමන්ගේ දමිටුකම පරපුරෙන් පරපුරට පවත්නේ ය.
19 සමිඳාණෝ සිය සිහසුන සගලොවෙහි පිහිටෙවු සේක.
එතුමන්ගේ රාජ්‍යය ද සියල්ලන් කෙරෙහි බල පවත්වයි.
20 සමිඳුන්ගේ අණ පිළිපදින, එතුමන්ගේ වචනයට සවන් දෙන, එතුමන්ගේ බලවන්ත දූතයෙනි, එතුමන් පසසන්න.
21 සමිඳුන්ගේ සේනා සියල්ලෙනි, එතුමන්ගේ කැමැත්ත ඉටු කරන මෙහෙකරුවෙනි, සමිඳුන් පසසන්න.
22 සකල මැවිල්ලෙනි, සමිඳුන් සිහසුන පවතින සැම තැන එතුමන් පසසන්න.
මාගේ සිත, සමිඳුන් පසසන්න.

Suba Asna - සුබ අස්න

FREE
VIEW