ගීතාවලිය – 102 වන පරිච්ඡේදය –

විපතේ දී යැදුමක්

තද විපතින් ක්ලාන්ත භාවයට පත් ව තමාගේ දුක්ගැනවිලි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි වැගිරෙව් කෙනෙකුගේ යැදුමකි.
1 සමිඳුනි, මාගේ යැදුම ඇසුව මැනව.
මාගේ මොරගැසීම ඔබ වෙත පැමිණේ වා!
2 මාගේ විපත්ති සමයේ දී ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව;
යැදුම් පුදන විට මට සවන් දී නොපමා ව පිළිතුරු දුන මැනව.
3 මන්ද, මාගේ දවස් දුම් මෙන් පහ වී යයි, මාගේ ඇටකටු ගිනි උදුනක් මෙන් දැවෙයි.
4 මාගේ සිත තණ කොළ මෙන් තැළී වියළී ඇත.
ආහාර ගැනීමට වත් මට රුචියක් නැත.
5 මම මහා හඬින් සුසුම්ලමින් සිටිමි.
මාගේ ඇටකටු හමට ම ඇළී ඇත.
6 මම මරු කතරේ වසන කරවැල් කොකෙකුට සමාන වෙමි;
මම පාළු තැන්හි වසන බකමූණෙකු මෙන් වෙමි.
7 මම නොනිදා සිටිමි;
වහල උඩ තනි ව වැලපෙන කුරුල්ලෙකුට සමාන වෙමි.
8 දවස මුළුල්ලේ මාගේ සතුරෝ මට නින්දා කරති;
මට අපහාස කරන්නෝ සාප කිරීමට මාගේ නාමය යොදා ගනිති.
9 මාගේ කෑම අළු ය;
මාගේ බීම කඳුළින් මුසු ය.
10 එසේ වී ඇත්තේ, ඔබේ කෝපය හා උදහස නිසා ය;
ඔබ මා උසස් කොට පහතට හෙළා ඇති නිසා ය.
11 මාගේ ජීවිත කාලය සැඳෑ සෙවණැලි වැනි ය,
මම තණ පත් මෙන් වියළී සිටිමි.
12 එහෙත් සමිඳුනි, ඔබ සදහට සිහසුන් අරා වැඩ සිටින සේක;
හැම පරපුරක් ම ඔබ සිහි කරනු ඇත.
13 ඔබ පිබිද සියොන්ට කරුණා කරන සේක.
ඊට අනුකම්පා කළ යුතු කාලය දැන් ය;
නියම කාලය පැමිණ තිබේ.
14 සියොන්හි ගල්වලට සේවකයෝ ප්‍රිය කරන්නෝ ය.
ඔව්හු එහි දූවිල්ලට පවා අනුකම්පා කරන්නෝ ය.
15 එහෙයින් විජාතීහු සමිඳුන්ගේ නාමයටත් බිය වන්නෝ ය;
පොළොවේ සියලු රජවරු ඔබේ මහිමයට බිය වන්නෝ ය.
16 සමිඳාණෝ සියොන් යළි ගොඩනඟන සේක;
සිය මහිමාලංකාරයෙන් ප්‍රකාශ වන සේක.
17 එතුමාණෝ අසරණයන්ගේ යැදුමට සවන් දෙන සේක;
ඔවුන්ගේ යැදුම හෙළා නොදකින සේක.
18 මේ තාක් නූපන් අය ඔබට පැසසුම් කරන පිණිස,
මතු එන පරම්පරාව උදෙසා මෙය සටහන් කරනු ලැබේ වා!
19 සමිඳාණෝ සිය ශුද්ධස්ථානයේ සිට පහත බැලූ සේක;
එතුමාණෝ ස්වර්ගයේ සිට පොළොව දෙස බැලූ සේක.
20 එසේ කෙළේ, සිරකරුවන්ගේ දුක් සුසුම් අසන්න ය;
මරණයට නියම වූවන් මුදන්න ය.
21 ජනයෝ සියොන්හි දී සමිඳුන්ගේ නාමයත් ජෙරුසලමේ දී එතුමන්ගේ ප්‍රශංසාවත් පළ කරන්නෝ ය.
22 රාජ්‍යයෝ ද මිනිස් සංහතිය ද සමිඳුන්ට මෙහෙ කිරීමට එක් රැස් වන සෑම විට එසේ කරන්නෝ ය.
23 එතුමාණෝ තරුණ වියේ දී මාගේ ශක්තිය හීන කළ සේක;
මාගේ ජීවිත කාලය කෙටි කළ සේක.
24 මම ද කතා කොට මෙසේ කීවෙමි:
”අහෝ මාගේ දෙවිඳුනි!
මා වයස්ගත වන්න පෙර මා පහ නොකළ මැනව.
සමිඳුනි, ඔබ සදහට ම ජීවත් වන සේක.”
25 ආදියේ දී ඔබ පොළොවේ පදනම ලූ සේක.
අහස් ගැබ ඔබේ දෑතින් සාදන ලද්දේ ය.
26 ඒවා විනාශ වන්නේ ය;
එහෙත්, ඔබ ජීවත් වන සේක.
එසේ ය, ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පැරණි වන්නේ ය.
උතුරු සළුවක් මෙන් ඔබ ඒවා මාරු කරන සේක.
ඒවා ද පහ වී යන්නේ ය.
27 එහෙත්, ඔබ ඒකාකාර ම ය, ඔබේ ජීවිතය නිම නොවන්නේ ය.
28 ඔබේ මෙහෙකරුවන්ගේ දරුවෝ සුරැකි ව සිටින්නෝ ය.
ඔවුන්ගේ පරපුර ද ඔබ ඉදිරියෙහි පිහිටුවනු ලබන්නේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW