ගීතාවලිය – 10 වන පරිච්ඡේදය –

පිහිට සඳහා යැදුම

1 සමිඳුනි, ඔබ ඈත් වී සිටින්නේ මන් ද?
විපත් සමයේ කුමට සැඟවී සිටින සේක් ද?
2 අහංකාර පවිටු දනෝ දිළිඳුන් හට පීඩා කරති;
එබැවින් තමන් අටවන උගුල්වල තුමූ ම අසුවෙති.
3 දුදනන්ගේ පාරට්ටුව තමන් ගැන ම වෙයි.
මසුරු දනෝ සමිඳුන්ට නිගා කරති, එතුමන් හෙළා දකිති.
4 දුදනා උඩඟුකම නිසා දෙවිඳුන් සොයා නොයයි.
‘දෙවි කෙනෙක් ලොවේ නැත’ යනු ඔහුගේ නිගමනය යි.
5 ඒ මිනිසා සැම විට ම සව් ඉසුරෙන් වැජඹෙනු ඇත.
ඉහළින් එන දෙව් නියමය ගැන නම් කිසි දැනුමක් ඔහුට නැත.
සිය සතුරන්ට ඔහු නිගා කරයි.
6 ඔහු තමා හට මෙසේ කියාගනියි:
”නොවැටෙමි මම කවදාවත්;
කිසි විපතක් නැත මා හට.”
7 සාපයෙන්, රැවටිල්ලෙන්, සැහැසිකමෙන් ඔහුගේ මුව පිරී තිබේ.
නපුර සමඟ අයුක්තිය ඔහුගේ දිවග ලෙල දෙයි.
8 ගම්මානයේ සැඟවී සිට ඔහු නිදොස් අය කපා කොටයි;
පිහිටක් නැති අසරණයින් එන තුරු ඔහු මාන බලයි.
9 ගුහාවේ නිදන සිහ රදකු මෙන් ඔහු ගොදුරු සොයා රහස් තැනක ලැග ඇත;
දිළිඳු දනන් ඩැහැගනු ඇත;
මරු දැල දා ඇදගනු ඇත.
10 සුදනා පහර ලබා, බිම වැටී, ගුළි ගැසී සිටියි;
ඒ අසරණ අය දුදනන්ගේ අතට අසු වී සිටිති.
11 ”දෙවිඳුන් මෙතන නැත;
එතුමාණන් මුහුණ වසාගෙන ඇත.
කිසි කලක එය නොදකිනු ඇතැ”යි ඔහු සිතින් සිතාගනියි.
12 සමිඳුනි, අවදි වන්න;
ඔබ අත ඔසවා මුදාගන්න;
දිළිඳු අය සිහි කරන්න.
13 දුෂ්ටයා දෙවිඳුන් හට නිගා කරන්නේ මන් ද?
”ඔබ දඬුවම් නොදෙන සේකැ”යි ඔහු සිතින් කියාගන්නේ මන් ද?
14 ඔබ දුක් කරදර ගැන සලකන සේක;
ඔබ උපකාර කරන්නට නිතර සූදානම් ය.
අසරණයා සිය ජීවිතය ඔබට භාර දෙයි.
ඔබ අනාථයාගේ ආධාරකරු වන සේක.
15 නපුරන්ගේ හා දුදනන්ගේ බලය සිඳ බිඳලන්න;
කිසි නපුරක් ඉතිරි නොවන ලෙස ඔවුන්ට දඬුවම් කරන්න.
16 සදහට ම සමිඳාණෝ රජිඳාණෝ ය, එතුමන්ගේ විජිතයෙන් විජාතීන් වැනසෙනු ඇත.
17 සමිඳුනි, පීඩිතයන්ගේ විලාපයන්ට ඔබ සවන් දෙන සේක;
ඔවුන්ට ඔබ දිරිය දෙන සේක.
18 මිහි පිට වසන මිනිසාගෙන් තවත් බියක් ඇති නොවන පරිදි, අනාථයා හා පීඩිතයා සාධාරණ ලෙස විනිශ්චය කළ මැනව.

Suba Asna - සුබ අස්න

FREE
VIEW