ගණන් කථාව – 36 වන පරිච්ඡේදය –

විවාහක කාන්තාවන්ගේ උරුමය

1 ජෝසෙප්ගේ පුතුන්ගේ පවුල්වලට අයත් මනස්සේගේ පුත්, මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පරපුරට අයත් පවුල්වල ප්‍රජා මූලිකයෝ මෝසෙස් ද ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් හා නායකයන් ද ඉදිරියට පැමිණ, 2 ”දාදු දමා ඉශ්රායෙල් ජනයාට රට උරුම කොට බෙදා දීමට සමිඳාණන් වහන්සේ අප ස්වාමියා වන ඔබට අණ කළ සේක. තවද අපගේ ඥාති වූ ශෙලෝපෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන ලෙස ද ඔබ සමිඳාණන් වහන්සේ අණ ලැබුවහු ය. 3 හොඳයි, ඔවුන් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පිරිමින්ගෙන් කෙනෙකු හා විවාහ වූවොත්, එවිට අපේ පියවරුන්ගේ උරුමයෙන් කොටසක් ගනු ලැබ, ඔවුන් විවාහ වූ ගෝත්‍රයේ උරුමයට එය එකතු වනු ඇත. මෙලෙස දාදු දැමීමෙන් අප ලත් උරුමය අඩු වනු ඇත. 4 තවද, ඉශ්රායෙල් ජනයාගේ ජුබිලි වර්ෂයේ දී ඔවුන්ගේ උරුමය ඔවුන් විවාහ වූ අයගේ ගෝත්‍රයේ උරුමයට නිත්‍ය වශයෙන් එකතු වීමෙන් ඔවුන්ගේ පියවරුන්ගේ ගෝත්‍රයට හිමි උරුමය අඩු වී යනු ඇතැ”යි කීවෝ ය. 
5 එවිට සමිඳාණන් වහන්සේ වදාළ පරිදි මෝසෙස් ඉශ්රායෙල් ජනයා අමතා මෙසේ කී ය: 6 ”ශෙලෝපෙහාද්ගේ දූවරුන් ගැන සමිඳාණන් වහන්සේ අණ කරන දේ මේ ය: ‘ඔවුන් තමන්ට කැමැති පරිදි තමන්ගේ ගෝත්‍රය තුළ ම පමණක් විවාහ විය යුතු ය. 7 එවිට ඉශ්රායෙල් ජනයාගේ උරුමයේ කොටස් ගෝත්‍රයෙන් ගෝත්‍රයට නොයනු ඇත. මන්ද, මෙසේ කිරීමෙන් ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙකු ම තම තමාගේ පිය පෙළපත් ගෝත්‍රයේ උරුමයට ම බැඳී සිටිනු ඇත. 
8 ‘තවද, ඉශ්රායෙල් ජනයා අතර උරුමයක් හිමි සෑම දුවක ම තම පිය පෙළපත් ගෝත්‍රයේ කෙනෙකු සමඟ විවාහ විය යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙකු ම තම පිය පෙළපත් උරුමය භුක්ති විඳිනු ඇත. 9 උරුම කොටස් ගෝත්‍රයෙන් ගෝත්‍රයට නොගොස් ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙකු ම තම තමාගේ පිය පෙළපත් ගෝත්‍රයේ උරුමයට ම බැඳී සිටිනු ඇත.’ ” 
10 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ශෙලෝපෙහාද්ගේ දූවරු ද ඉටු කළහ. 11 ඒ දූවරු වන මාලා, තිර්ශා, හොග්ලා, මිල්කා සහ නෝවා තම පියාගේ සොහොයුරන්ගේ පුත්‍රයන් සමඟ විවාහ වූ හ. 12 මොවුන් ජෝසෙප්ගේ පුත් මනස්සේගේ පරපුරට අයත් පවුල්වල අය සමඟ විවාහ වූ නිසා, ඔවුන්ගේ උරුම කොටස තම පිය පෙළපත් ගෝත්‍රය තුළ ම පැවතුණි. 
13 ජොර්දාන් ගං තෙර, ජෙරිකෝ නුවර අසල මෝවබ් මිටියාවතේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් ඉශ්රායෙල් ජනයාට දුන් ආඥා සහ විනිශ්චයෝ මේවා ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW