ගණන් කථාව – 12 වන පරිච්ඡේදය –

මීරියම්ට දඬුවම් දීම

1 මෝසෙස්, කුෂ් නම් දේශයෙන් කුෂ් ජාතික ස්ත්‍රියක සරණ පාවාගත් හෙයින් මීරියම් සහ ආරොන් ඔහුට විරුද්ධ ව කතා කළහ. 2 ”සමිඳාණන් වහන්සේ කතා කෙළේ මෝසෙස් මඟින් පමණක් ද? උන් වහන්සේ අප මඟින් පවා කතා නොකරන සේක් දැ”යි ඔව්හු කීවෝ ය. සමිඳාණන් වහන්සේට එය ඇසිණි. 3 මිහි පිට සිටි සියලු මිනිසුන් අතරෙන් මෝසෙස් අතිනිහතමානී කෙනෙක් විය. 
4 සමිඳාණන් වහන්සේ හදිසියෙන් මෝසෙස්ට, ආරොන්ට සහ මීරියම්ට කතා කොට, ”නුඹලා තිදෙන සම්මුඛ මණ්ඩපයට නික්ම ආ යුතු ය”යි වදාළ සේක. ඔව්හු ද එහි ගියහ. 5 උන් වහන්සේ වලා ටැඹකින් බැස අවුත්, සම්මුඛ මණ්ඩපයේ දොරකඩ වැඩ සිට, ආරොන් සහ මීරියම් කැඳවූ සේක. ඔව්හු දෙදෙන පැමිණියහ. 6 එවිට උන් වහන්සේ කතා කොට, 
”මා වදනට සවන් දෙන්න; 
දිවැසිවරු ඔබ අතර සිටිත් නම්, සමිඳුන් ඔවුන්ට ප්‍රකාශ වනුයේ දර්ශනවලිනි; 
ඔවුන්ට කතා කරනුයේ සිහිනවලිනි: 
7 මා සේවක මෝසෙස් එසේ නොවේ, ඔහුට මාගේ මුළු සෙනඟ භාර දී ඇත. 
8 මම ඔහු සමඟ මුහුණට මුහුණ ලා කතා කරමි, ගුප්ත වදනින් නොව, පැහැදිලි ව, කතා කරමි. 
ඔහු සමිඳුන්ගේ රූපය දකිනු ඇත. 
එබැවින් මාගේ සේවක මෝසෙස්ට විරුද්ධ ව කතා කිරීමට නුඹලා එඩිතර වූයේ කෙසේ දැ’යි ඇසූ සේක. 
9 සමිඳාණන් වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවිළිණි. උන් වහන්සේ නික්ම ගිය සේක. 10 වලාකුළ මණ්ඩපයෙන් ඉවත් විය. පුදුමයකි! මීරියම්ට හිම මෙන් සුදු කුෂ්ඨ රෝගයක් වැළඳී තිබිණි. ආරොන් ඈ දෙස බැලූ විට ඈට කුෂ්ඨයක් තිබෙන බව පෙනිණි. 11 එවිට ආරොන් මෝසෙස්ට කතා කොට, ”අහෝ ස්වාමීනි! අපගේ මෝඩකමින් අප කළ පාපයේ වගකීම අප පිට පවරනු නොමැනවි. 12 ඈ මවු කුසින් බිහි වන, මාංසයෙන් කොටසක් දිරා ගිය, මළ කෙනෙකු මෙන් නො වේ වා”යි කීවේ ය. 13 මෝසෙස් සමිඳාණන් වහන්සේට මොරගසමින්, ”මාගේ දෙවිඳුනි, ඈ වහා ම සුව කරන ලෙස, මම ඔබගෙන් අයැදිමි”යි කියා කෑගැසී ය. 
14 ඉන්පසු සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, ”ඇගේ පියා ඇගේ මූණට කෙළ ගැසී නම්, ඈ දින හතක් තුළ ලජ්ජා නොවිය යුතු ද? එබැවින් දින හතකට ඈ කඳවුරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය. ඉන්පසු ඇය කඳවුර තුළට බාර ගත හැකි ය”යි වදාළ සේක. 15 දින හතකට මීරියම් කඳවුරෙන් නෙරපාදමනු ලැබුවා ය. ඈ යළි පැමිණෙන තෙක් සෙනඟ ද යන්නට පිටත් නො වූ හ. 16 ඉන්පසු සෙනඟ හශේරොත් නම් ස්ථානයෙන් නික්ම ගොස් පාරාන් නම් පාළුකරයේ කඳවුරු බැඳගත්හ.

Suba Asna - සුබ අස්න

FREE
VIEW