එස්රා – 7 වන පරිච්ඡේදය –

එස්රා ජෙරුසලමට පැමිණීම

1 මේ සිද්ධිවලින් පසු, පර්සියාවේ අර්තක්ෂස්තාගේ රාජ්‍ය කාලයේ දී එස්රා නම් මිනිසෙක් සිටියේ ය. එස්රා සොරායාගේ පුත්‍රයා ය; ඔහු අශරියාගේ පුත්‍රයා ය; ඔහු හිල්කියාගේ පුත්‍රයා ය. 2 ඔහු ෂල්ලුම්ගේ පුත්‍රයා ය; ඔහු ශාදොක්ගේ පුත්‍රයා ය; ඔහු අහිටුබ්ගේ පුත්‍රයා ය. 3 ඔහු අමරියාගේ පුත්‍රයා ය; ඔහු අසරියාගේ පුත්‍රයා ය; ඔහු මෙරායොත්ගේ පුත්‍රයා ය. 4 ඔහු සෙරහියාගේ පුත්‍රයා ය; ඔහු උශ්ශීගේ පුත්‍රයා ය; ඔහු බුක්කීගේ පුත්‍රයා ය. 5 ඔහු අබිෂුවාගේ පුත්‍රයා ය; ඔහු පිනෙහාස්ගේ පුත්‍රයා ය; ඔහු එලෙයාසර්ගේ පුත්‍රයා ය; ඔහු උත්තම පූජක ආරොන්ගේ පුත්‍රයා ය.
6 මේ එස්රා බබිලෝනියේ සිට පැමිණි කෙනෙකි. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ විසින් දෙන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන මනා දැනීමක් ඇති නීතිවේදියෙකි. ඔහු කෙරෙහි ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ අනුග්‍රහය තිබුණු බැවින් ඔහු ඉල්ලූ සියල්ල රජතුමා ඔහුට දුන්නේ ය. 7 තවද, අර්තක්ෂස්තා රජුගේ සත් වන අවුරුද්දේ දී ඉශ්රායෙල් සෙනඟගෙන් ද පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද ගායනාකාරයන්ගෙන් ද දොරටු පාලකයන්ගෙන් ද දේව මාලිගාවේ සේවකයන්ගෙන් ද සමහර දෙනෙක් ජෙරුසලමට පැමිණියෝ ය. 8 එස්රා, රජුගේ සත් වන අවුරුද්දේ පස් වන මාසයේ දී ජෙරුසලමට ආවේ ය. 9 ඔහු පළමු වන මාසයේ පළමු වන දා බබිලෝනියෙන් පිටත් වන්න තීරණය කරගෙන තිබුණේ ය. ඔහුගේ දෙවියන් වහන්සේගේ කරුණානුග්‍රහය ඔහු සමඟ සැබැවින් ම තිබුණේ ය. පස් වන මාසයේ පළමු වන දා ඔහු ජෙරුසලමට පැමිණියේ ය. 10 එස්රා සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව හදාරන්නත් එය පිළිපදින්නත්, එහි ඇති අණපණත් ඉශ්රායෙල් සෙනඟට උගන්වන්නත් ඇප කැප වී සිටියේ ය.

අර්තක්ෂස්තා රජු එස්රාට ලියූ හසුන

11 ඉශ්රායෙල්වරුන් සම්බන්ධයෙන් පනවන ලද සමිඳාණන් වහන්සේගේ අණපණත් පිළිබඳ ව විශේෂ දැනුමක් තිබුණු පූජකයෙකු ද නීතිවේදියෙකු ද වූ එස්රාට අර්තක්ෂස්තා රජු විසින් දෙන ලද හසුනේ පිටපත මෙසේ ය: 12 ”රාජාධිරාජ අර්තක්ෂස්තා වන මම ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවේ නීතිවේදියෙකු ව සිටින පූජක එස්රා වෙත ලියා එවමි. 13 මාගේ රාජ්‍යයේ සිටින ඉශ්රායෙල් සෙනඟගෙන් ද ඔවුන්ගේ පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද සිය කැමැත්තෙන් ජෙරුසලමට යන්න කැමැති සියල්ලන්ට ඔබ සමඟ යන්න අවසර ඇත කියා මම නියෝගයක් කරමි. 14 ඔබේ භාරයේ ඇති ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව අනුව ජුදා හා ජෙරුසලම ගැන කරුණු විභාග කරන පිණිස, රජු සහ ඔහුගේ මන්ත්‍රීන් සත්දෙනා විසින් ඔබ යවනු ලැබ ඇත. 15 රජු සහ ඔහුගේ මන්ත්‍රීන් විසින් ජෙරුසලමෙහි වැඩ වසන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට සිය කැමැත්තෙන් පුදන ලද රන් රිදී ඔබ ගෙන යා යුතු ය. 16 ඒ සමඟ මුළු බබිලෝනි ප්‍රදේශයේ ඔබට සොයා ගත හැකි රන් රිදී සියල්ල ද ජෙරුසලමෙහි ඇති, තමන්ගේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා සෙනඟ සහ පූජකයන් සිය කැමැත්තෙන් දෙන පඬුරු ද ඔබ ගෙන යා යුතු ය. 17 එබැවින් මේ මුදල වැය කළ යුත්තේ, ගොනුන් ද බැටළුවන් ද බැටළු පැටවුන් ද ඒ සමඟ ඕනෑ කරන ආහාර පූජා සහ පානීය පූජා ද ගැනීමට පමණකි. ජෙරුසලමෙහි තිබෙන, ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ පූජාසනය පිට ඒවා ඔප්පු කරන්න. 18 ඉතිරි වන රන් රිදීවලින් ඔබටත්, ඔබේ සහෝදරයන්ටත් කරන්න සුදුසු යයි පෙනෙන දෙයක් ඔබේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස කරන්න. 19 තවද, ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස ඔබට දෙන ලද භාණ්ඩ ජෙරුසලමේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි බාර දෙන්න. 20 ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා දෙන්නට ඔබට වුවමනා තවත් දේවල් රජුගේ භාණ්ඩාගාරයෙන් රැගෙන දෙන්න.
21 ”තවද, අර්තක්ෂස්තා රජු වන මම, ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව පිළිබඳ නීතිවේදියා වන පූජක එස්රා විසින් ඔබෙන් ඉල්ලනු ලබන සියල්ල සැණෙකින් දෙන්න යුප්‍රටීස් ගඟෙන් එගොඩ සිටින සියලු භාණ්ඩාගාරිකයන්ට නියෝග කරමි. 22 රිදී කිලෝග්‍රෑම් දෙදහස් අටසියයක් වන තෙක් ද තිරිඟු කිලෝග්‍රෑම් දහතුන්දහස් පන්සියයක් වන තෙක් ද මුද්‍රික පාන ලීටර් දෙදහසක් වන තෙක් ද තෙල් ලීටර් දෙදහසක් වන තෙක් ද ලුණු ඇති තරම් ද දිය යුතු ය. 23 ස්වර්ගයේ දෙවියන් වහන්සේ විසින් අණ කරනු ලැබ තිබෙන සියල්ල, ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා හරියාකාර කරනු ලැබේවා. එසේ නොකළොත් රජුගේත්, ඔහුගේ පුත්‍රයන්ගේත් රාජ්‍යය කෙරෙහි උදහස පැමිණෙන්නට ඉඩ තිබේ. 24 තවද, පූජකයන්, ලෙවීවරුන්, ගායනාකාරයන්, දොරටු පාලකයන්, දේව මාලිගාවේ සේවකයන් හා දෙවියන් වහන්සේගේ මේ මාලිගාවේ සෙසු සේවකයන් යන කිසිවෙකුගෙන් තීරු බද්ද ද ආදායම් ද සුංගම් ද අය කරන්න තහනම් බව අපි ඔබට දැනුම් දෙමු.
25 ”එස්රා, ඔබ යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සියලු සෙනඟ විනිශ්චය කරන පිණිස, ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව දන්න විනිශ්චයකාරයන් ද නඩුකාරයන් ද ඔබට ප්‍රදානය කොට ඇති ඔබේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලෙස පත් කරගන්න; නොදන්න අයට එය උගන්වන්න. 26 ඔබේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ද රාජ ආඥාව ද නොපවත්වන සියල්ලන්ට මරණයෙන් හෝ රටින් පිටමං කිරීමෙන් හෝ දේපළ රාජසන්තක කිරීමෙන් හෝ හිර අඩස්සි කිරීමෙන් හෝ වහාම යුක්තිය ඉටු කරනු ලැබේ වා!”
27-28 එවිට එස්රා මෙසේ කීවේ ය: ”ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලංකාර කරන්නට රජුගේ සිතෙහි කැමැත්තක් ඇති කළා වූ ද රජු ද උපදේශකයන් ද රජුගේ සියලු බලවත් අධිපතීන් ද ඉදිරියෙහි මට කරුණාව ලැබීමට සැලසුවා වූ ද අපේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! එබැවින් මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට තිබෙන බව දැනගෙන, මා ධෛර්යවත් වී මා සමඟ යන පිණිස, ඉශ්රායෙල්වරුන් අතරෙන් ප්‍රධානීන් මම රැස් කරගතිමි.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW