එසකියෙල් – 29 වන පරිච්ඡේදය –

මිසරයට විරුද්ධ දිවැස් වැකි කීම

1 දස වන අවුරුද්දේ දස වන මාසයේ දොළොස් වන දින සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝ දෙස බලා ඔහුටත් මුළු මිසරයටත් විරුද්ධ ව දිවැස් වැකි කියන්න. 3 නුඹ කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නයිල් ගඟ මැද ලගින, නයිල් ගඟ මාගේ ම ය කියාත්, මම ම ඒක සාදාගත්තෙමි කියාත් කියන මහ කිඹුලා වන මිසරයේ පාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධ වෙමි. 4 මම නුඹේ හකුවල කොකු දමා, නුඹේ ගංගාවේ මත්ස්‍යයන් නුඹේ කොරපොතුවල වද්දවා, එසේ නුඹේ කොරපොතුවල ම වැදී සිටිය දී නුඹේ ගංගාවේ සියලු මත්ස්‍යයන් ඇතුළු ව නුඹ නයිල් ගඟෙන් ගොඩට අදින්නෙමි. 5 මම නුඹ සහ නුඹේ ගංගාවේ සියලු මත්ස්‍යයන් ද කාන්තාරයෙහි හෙළාදමන්නෙමි. නුඹ වළලනු නොලැබ පොළොව මතුපිට සිටින්නෙහි ය. මම නුඹ පොළොවේ මෘගයන්ට ද ආකාශ පක්ෂීන්ට ද කෑම පිණිස දෙන්නෙමි. 6 එවිට මිසරයේ සියලු වැසියෝ මා සමිඳාණන් වහන්සේ බව දැනගන්නෝ ය.
7 ”ඉශ්රායෙල්වරු මිසර වැසියන්ගේ ආධාරය කෙරෙහි විශ්වාසය තබා සිටියහ. එහෙත්, නුඹ ඉශ්රායෙල් සෙනඟට බට දණ්ඩක් වැනි විය. ඔවුන් හේත්තු වූ විට නුඹ කැඩී ගියෙහි ය. ඔවුන්ගේ කිහිලි සිදුරු විය; ඔවුන්ගේ කොන්ද පණ නැති විය. 8 එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, මම නුඹට විරුද්ධ ව කඩුවක් පමුණුවා, නුඹෙන් මනුෂ්‍යයන් ද මෘගයන් ද වනසා දමන්නෙමි. 9 මිසර දේශය නාස්ති වී, පාළු වනු ඇත. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය. මක්නිසා ද, නයිල් ගඟ මාගේ ය; මම එය සදාගතිමි යි නුඹ කී බැවිනි. 10 බලන්න, මම නුඹටත්, නුඹේ නයිල් ගඟටත් විරුද්ධ වෙමි. මම මිග්දොල් පටන් සෙව්නේ කොටුව දක්වාත්, එතියෝපියාවේ දේශ සීමාව දක්වාත්, මිසර දේශය මුළුමනින් ම පාළු කරන්නෙමි. 11 මිනිසෙකු වත්, මෘගයෙකු වත් එහි සැරිසරන්නේ නැත. එය සතළිස් අවුරුද්දක් වැසියන් නැති ව තිබෙන්නේ ය. 12 පාළු වී තිබෙන රටවලට වඩා මම මිසර දේශය පාළු කරන්නෙමි. එහි නගර නටබුන් ගොඩක් මෙන් තිබෙන නගරවලට වඩා සතළිස් අවුරුද්දක් එය පාළු දේශයක් ව තිබෙනු ඇත. මම මිසරවරුන් ජාතීන් අතරට පලවා හැර දේශවල ඔවුන් විසුරුවන්නෙමි.
13 ”එහෙත් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. සතළිස් අවුරුද්දකට පසු, විජාතීන් අතර විසිර ගිය මිසරවරුන් අතරෙන් මම ඔවුන් රැස් කරන්නෙමි. 14 මම මිසරවරුන්ගේ වහල්කම පහකර ඔවුන්ගේ ජන්ම දේශය වන පත්‍රොස් දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි. ඔවුන් එහි දුර්වල රාජ්‍යයක් ව සිටිනු ඇත. 15 මිසරය සියලු රාජ්‍යයන් අතර පහත් රාජ්‍යයක් වන්නේ ය. එය සෙසු ජාතීන්ට වඩා ඉස්මතු නොවන්නේ ය; ඔව්හු තවත් පාලනය නොකරන්නෝ ය. එය සෙසු ජාතීන් තවත් පාලනය නොකරන පිණිස මම මිසරය කුඩා රාජ්‍යයක් කරන්නෙමි. 16 ඉශ්රායෙල්වරු ආධාර පිණිස මිසරය කෙරෙහි තවත් විශ්වාසය නොතබන්නෝ ය. මිසරයට වන දුර්භාග්‍යය, එය කෙරේ විශ්වාසය තැබීමේ වරද ඉශ්රායෙල්වරුන්ට මතක් කර දෙනු ඇත. එවිට මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”

නෙබුකද්නෙශර් රජ මිසරය පරාජය කිරීම

17 තවද, විසිහත් වන අවුරුද්දේ පළමු වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: 18 ”මනුෂ්‍ය පුත්‍රය, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තීර්ට විරුද්ධ ව දරුණු සටනක් ඇරඹුවේ ය. ඔහුගේ හේවායන් පිට මහා බර උසුලාගෙන යන්න ඔහු සැලැසූ නිසා ඔවුන්ගේ හිස් මුඩු විය. උරහිස්වල හම ගියේ ය. එහෙත්, ඔහු තීර්ට විරුද්ධ ව කළ සටනින් ඔහුට වත්, ඔහුගේ සේනාවට වත් තීර්ගෙන් කිසි වාසියක් ලැබුණේ නැත. 19 එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: බලන්න, මම බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට මිසර දේශය පාවා දෙන්නෙමි; ඔහු එහි සමූහයා අල්ලාගෙන, එහි තිබෙන කොල්ලය රැගෙන, එහි තිබෙන සම්පත් කොල්ලකාගෙන යනු ඇත. ඒවා ඔහුගේ සේනාවට කුලී වශයෙන් ගෙවනු ඇත. 20 තීර්ට විරුද්ධ ව ඔහු කළ උත්සාහයට විපාකයක් වශයෙන් මම මිසර දේශය ඔහුට පාවා දෙන්නෙමි. එසේ කරන්නේ, ඔහු මා උදෙසා ක්‍රියා කළ බැවිනි. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.
21 ”ඒ දවසේ දී මම ඉශ්රායෙල් සෙනඟ අඟක් මෙන් ශක්තිමත් කරන්නෙමි. තවද එසකියෙල්, සියල්ලන්ට ඇසෙන සේ කතා කරන්න මම නුඹට ඉඩ සලසාදෙන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW