එසකියෙල් – 28 වන පරිච්ඡේදය –

තීර්හි රජුගේ වැටීම

1 සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි තීර්ගේ අධිපතියාට කියන්න. නුඹ දෙවි කෙනෙකු නොව, මනුෂ්‍යයෙකු වන නමුත්, නුඹේ සිත උඩඟු වී, මම දෙවි කෙනෙක්මි. මුහුද මැද මම දෙවි කෙනෙකුගේ ආසනයේ වැඩහිඳිමි යි කියමින්, නුඹ දෙවිඳුන්ට සමාන ය යි සිතන්නෙහි ය. 3 නුඹ දානියෙල්ට වඩා ප්‍රඥාවන්ත ය යි ද නුඹෙන් කිසි රහසක් සඟවන්නට බැරි ය යි ද නුඹ සිතන්නෙහි ය. 4 නුඹේ ප්‍රඥාවෙන් ද නුඹේ නුවණින් ද නුඹ සම්පත් උපදවාගෙන, රන් රිදී ද ලබා නුඹේ ගබඩාවල තබා ගත්තෙහි ය. 5 නුඹේ ප්‍රඥාවේ මහත්කමින් නුඹේ වෙළෙඳාම කරණකොටගෙන නුඹේ සම්පත් නුඹ වැඩි කරගෙන සිටින බැවින්, නුඹේ සම්පත් නිසා නුඹේ සිත උඩඟු වී තිබේ.
6 ”එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹ දෙවි කෙනෙකු මෙන් ඥානවන්ත යයි සිතන බැවින්, 7 බලන්න, මම ජාතීන් අතරෙන් ඉතා භයානක විදේශිකයන් නුඹට විරුද්ධ ව පමුණුවන්නෙමි. ඔව්හු නුඹේ අපූරු ප්‍රඥාවට විරුද්ධ ව තමන්ගේ කඩු ඇද නුඹේ දීප්තිය කිළුටු කරනු ඇත. 8 ඔවුන් නුඹ මිනීවළට පමුණුවනු ඇත. මැරුම්කන අය මරනු ලබන ලෙස නුඹ මුහුද මැද දී මැරෙනු ඇත. 9 නුඹ දෙවි කෙනෙකු නොව, නුඹ සතුරන් අතට අසු වී හුදෙක් මිනිසෙකු ව සිටින නමුත්, නුඹව මරාදමන්නන් ඉදිරියෙහි, ‘මම දෙවි කෙනෙක්මි’යි එවිටත් නුඹ කියා සිටින්නෙහි ද? 10 අචර්මඡේදිතයන් මෙන් නුඹ විදේශිකයන් අතින් මැරුම්කන්නෙහි ය. මන්ද, මම එසේ කීයෙමි. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”

තීර්හි රජුගේ වැටීම

11 තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාරන සේක: 12 ”මනුෂ්‍ය පුත්‍රය, තීර්හි රජු ගැන විලාප ගීයක් ගයමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න. නුඹ වරක් ප්‍රඥාවෙන් පිරී, අලංකාරකමෙන් පූර්ණ වී පරිපූර්ණතාවේ ආදර්ශයක් වූයෙහි ය. 13 නුඹ දෙවියන් වහන්සේගේ උයන වන ඒදන්හි සිටියෙහි ය; සියලු මැණික් ගල් වන ලෝහිතංක ද පුෂ්පරාග ද දියමන්ති ද රන්කාන්ති ද නඛමාණික්‍ය ද සූර්යකාන්ති ද නීලමාණික්‍ය ද රතුකැට ද මරකත ද ඔබ්බන ලද රනින් සෑදූ පළඳනාවෙන් සැරසී සිටියෙහි ය. නුඹ මවනු ලැබූ දවසේ දී ඒවා නුඹට සූදානම් කරන ලද්දේ ය. 14 නුඹ ආරක්ෂා කරන පිණිස බියකරු කෙරුබ්වරයෙකු මම එහි තැබීමි. නුඹ දෙවියන් වහන්සේගේ ශුද්ධ කන්දෙහි සිටියෙහි ය. නුඹ ගිනි අඟුරු අතරෙහි ඇවිද්දෙහි ය. 15 නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම හෙළි වනතුරු නුඹේ හැසිරීමෙන් නුඹ නිදොස් ව සිටියෙහි ය. 16 නුඹේ වෙළෙඳාම වැඩි වීම හේතුකොටගෙන අදමිටුකමින් නුඹේ සිත පිරී නුඹ පව් කෙළෙහි ය. එබැවින් නුඹ කෙලෙසූ දෙයක් මෙන් දෙවියන් වහන්සේගේ කන්දෙන් මම නුඹ නෙරපාදැමුවෙමි; නුඹ ආරක්ෂක කෙරුබ්වරයා ද ගිනි අඟුරු අතරෙන් පන්නාදැමුවෙහි ය. 17 නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟු ව තිබේ. නුඹේ කීර්තිය නිසා නුඹේ ප්‍රඥාව කෙලෙසා ගත්තෙහි ය. මම නුඹ පොළොවට හෙළා, රජවරුන් නුඹ දැක ප්‍රීති වන පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි හෙළි කෙළෙමි. 18 නුඹේ වෙළෙඳාමේ අසාධාරණකමෙන් කළ නුඹේ අපරාධ රාශියෙන් නුඹ නුඹේ ශුද්ධස්ථාන කෙලෙසුවෙහි ය; එහෙයින් මම නුඹ ඇතුළෙන් ගින්නක් නික්මවීමි; එය නුඹ නාස්ති කෙළේ ය; නුඹ දකින සියල්ලන්ගේ ඇස් ඉදිරියෙහි පොළොව පිට නුඹ අළු කෙළෙමි. 19 ජනයා ද නුඹ අඳුනන සියල්ලෝ ද නුඹ ගැන විස්මපත් වන්නෝ ය. නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.”

සීදොන්ට විරුද්ධ දිවැස් වැකි

20 සමිඳාණන් වහන්සේ කතා කොට මට මෙසේ වදාළ සේක: 21 ”මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ සීදොන් දෙසට හරවා, ඊට විරුද්ධ ව දිවැස් වැකි පවසමින් මෙසේ කියන්න: 22 දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එම්බා සීදොන්, මම නුඹට විරුද්ධ වෙමි; නුඹ මැද මාගේ තේජස ප්‍රකාශ කරමි. මා ඈ කෙරෙහි විනිශ්චයයන් ඉෂ්ට කොට, මා පිරිසිදු බව ඒ කරණකොටගෙන දැක්වූ කල, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත. 23 එසේ ය, මම ඈ තුළ වසංගතයත්, ඇගේ වීදිවල ලේ වැගිරීමත් ඇති කරන්නෙමි. හාත්පසින් ඈ පිට පැමිණෙන කඩුවෙන් ඈ තුළ මනුෂ්‍යයෝ මැරුම් කා වැටෙන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”

ඉශ්රායෙල් වංශය ආශීර්වාද කරනු ලැබීම

24 ”එවිට ඉශ්රායෙල් සෙනඟට ඇනෙන කඩුවක් වත්, රිද්දවන උලක් වත් ඔවුන් අපවාදයට පත් කළ ඔවුන් අවට සිටින සියල්ලන්ගෙන් තවත් නොපැමිණෙන්නේ ය; මෙසේ මා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”
25 දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ”මා විජාතීන් අතර විසිරී සිටින ඉශ්රායෙල් සෙනඟ රැස් කර, මා ශුද්ධවන්ත බව ඔවුන් මඟින් ජාතීන්ගේ ඇස් හමුයෙහි පෙන්නූ කල්හි, මාගේ මෙහෙකරු ජාකොබ්ට මා දුන් දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත. 26 ඔව්හු එහි සුව සේ වාසය කොට, ගෙවල් ගොඩනඟා මිදි වතු වවන්නෝ ය; ඔවුන් අවට සිටින, ඔවුන් අපවාදයට පත් කළ, සියල්ලන් කෙරෙහි මා විනිශ්චයයන් ඉෂ්ට කළ කල්හි ඔවුන් එසේ සුව සේ වාසය කරනු ඇත. මෙසේ මා ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”

Suba Asna - සුබ අස්න

FREE
VIEW