එසකියෙල් – 21 වන පරිච්ඡේදය –

සමිඳාණන් වහන්සේගේ විනාශකාරී කඩුව

1 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ජෙරුසලම දෙසට හරවාගෙන, ශුද්ධස්ථානවලට විරුද්ධ ව දේශනා කර, ඉශ්රායෙල් දේශයට විරුද්ධ ව දිවැස් වැකි කියන්න. 3 ඉශ්රායෙල් දේශයට මෙසේ කියන්න: ‘සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මෙන්න, මම නුඹට විරුද්ධ ය, මම මාගේ කඩුව කොපුවෙන් ඇද ගන්නෙමි; ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් සියලු දෙනා විනාශ කරදමන්නෙමි. 4 මා ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් සියලු දෙනා විනාශ කරදමන බැවින් දකුණේ සිට උතුර දක්වා සිටින සියල්ලන්ට විරුද්ධ ව මාගේ කඩුව කොපුවෙන් ඇදගන්නෙමි. 5 සමිඳාණන් වහන්සේ වන මා මාගේ කඩුව කොපුවෙන් ඇදගත් බව මනුෂ්‍ය වර්ගයා දැනගනු ඇත. නැවත එය කොපුවට දමනු නොලැබේ.’
6 ”එබැවින් මනුෂ්‍ය පුත්‍රය, නුඹ සුසුම්ලන්න, හද දෙදරන තරමට ශෝකයෙන් ඔවුන් ඉදිරියෙහි කෙඳිරිගාන්න. 7 ‘නුඹ කෙඳිරිගාන්නේ මන්දැ’යි ඔවුන් නුඹෙන් අසන කල මෙසේ කියන්න: ‘අපට ලැබුණ ඒ ආරංචිය නිසා ය; මන්ද, එය පැමිණි විට සියලු සිත් තැවුලට පත් වනු ඇත. සියලු අත් පණ නැති වනු ඇත; සියලු සිත් කැළඹෙනු ඇත. සියලු දණහිස් බියෙන් නැමෙනු ඇත. එය පැමිණෙන්නේ ම ය; එය සිදුවන්නේ ම ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.’ ”
8 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: 9 ”මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින්, ‘සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි පවසන්න. ‘කඩුවක්, සැබැවින් ම කඩුවක්, මුවහත් කොට දිළිසෙමින් තිබේ. 10 එය මුවහත් කර තිබෙන්නේ ඝාතනය පිණිස ය. එය දිළිසෙන්නේ විදුලිය දහරක් මෙන් ය. එසේ නම්, අපට ප්‍රීති වීමට ඉඩක් නැත. මන්ද, මාගේ සෙනඟ හැම අවවාදයක් හා දඬුවමක් නොසලකා හැර ඇත. 11 ඒ කඩුව අතට ගන්න පිණිස මුවහත් කිරීමට දී තිබේ. මරාදමන අයගේ අතට දෙන පිණිස මේ කඩුව දිළිසෙන පරිදි මුවහත් කර තිබේ. 12 මනුෂ්‍ය පුත්‍රය, හඬ නඟා මොරගසන්න. මන්ද, එය මාගේ සෙනඟ පිටත්, සියලු ඉශ්රායෙල් අධිපතීන් පිටත් පැමිණියේ ය. ඔව්හු මාගේ සෙනඟ සමඟ කඩු පහරට පාවා දෙනු ලැබූ හ. එබැවින් ශෝකයෙන් පපුවට ගසාගන්න. 13 මන්ද, මම මාගේ සෙනඟ පරීක්ෂා කර බලන්නෙමි. ඔවුන් වරද පිළිගෙන පසුතැවිලි නොවූවොත්, මේ සියලු දේ ඔවුන් පිට පැමිණෙනු ඇත’ කියා දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
14 ”එබැවින් මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින්, අත් දෙක එකට තට්ටු කරන්න. එවිට කඩුව නැවත නැවත පහර දෙන්නේ ය. එය මාරක කඩුවකි; බිය ගන්වන කඩුවකි; විනාශ කරන කඩුවකි. 15 එය මිනිසුන් අධෛර්යයටත්, දොරටු ළඟ පැකිළී වැටීමටත් සලස්වයි. විදුලිය මෙන් කාන්තිය විහිදුවන, මරාදැමීමට සුදුසු කඩුවකින් මම නගරයේ සිට තර්ජනය කරමි. 16 එම්බා තියුණු කඩුව! දකුණට පහර දෙන්න; වමටත් පහර දෙන්න; හැරෙන හැරෙන අතට පහර දෙන්න. 17 මමත් මාගේ අත් දෙක එකට ගසා, මාගේ කෝපය සංසිඳුවාගන්නෙමි. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.”

බබිලෝනියේ රජුගේ කඩුව

18 සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කොට මෙසේ වදාළ සේක: 19 ”මනුෂ්‍ය පුත්‍රය, කඩු ගත් බබිලෝනියේ රජුගේ පැමිණීම සඳහා මාර්ග දෙකක් නියම කරගන්න; ඒ දෙක ම එක දේශයකින් ආරම්භ වන්නේ ය. මඟ සලකුණක් තබන්න; නුවරට පැමිණෙන මංසන්ධියෙහි ඒක පිහිටුවන්න. 20 කඩුව අම්මොන්වරුන්ගේ නුවර වූ රබ්බාටත්, ජුදාට සහ පවුරෙන් වට වූ ජෙරුසලමටත් පැමිණෙන පිණිස මාර්ගයක් නියම කරන්න. 21 බබිලෝනියේ රජ පේන අසන පිණිස මාර්ග දෙක බෙදී යන තැන දෙමංසන්ධියේ සිටිමින් ඊගස් සොලවා, තෙරාපිම් රූපවලින් විමසා, පූජා කරන ලද සතුන්ගේ අක්මාව සෝදිසි කර බැලුවේ ය. 22 ‘ජෙරුසලම’ යන නම සටහන් කර ඇති ඊගස ඔහුගේ දකුණතට අසු වුණේ ය. යුද්ධ යන්ත්‍ර තබන්නටත් ඝාතනය කරන්න අණ කරන්නටත්, රණ හඬ නගන්නටත්, දොරටුවලට විරුද්ධ ව යුද්ධ යන්ත්‍ර තබන්නටත්, පස් කඳු ඉදි කරන්නටත්, කොටු පවුරු ගොඩනඟන්නටත් ඊගස මඟින් ඔහුට දන්වනු ලැබී ය. 23 ඔවුන් කරගෙන තිබුණ ගිවිසුම් නිසා, මේ පේන කීම බොරුවකැ යි ජෙරුසලම් වැසියෝ සිතති. එහෙත්, ඔවුන් සතුරන්ට අසු වන පිණිස උන් වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිපත් කරන සේක. 24 එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා නුඹලාගේ වැරදි සිහි කර නැත. නුඹලාගේ පාප හෙළි කර ඇත. නුඹලාගේ හැම ක්‍රියාවකින් ම නුඹලාගේ දුෂ්ටකම එළිදරව් වන බැවින් නුඹලා කවුරු දැ යි අමතක වී නැත. එබැවින් මම නුඹලාගේ සතුරන්ට නුඹලා පාවා දෙමි.’
25 ”නපුරු ද දුෂ්ට ද වන ඉශ්රායෙල් අධිපතිය, නුඹට අවසන් දඬුවම් දීමේ කාලය පැමිණ ඇත. 26 ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘කිරීටය ගලවා දමන්න; ඔටුන්න ඉවත් කරන්න; මෙය තිබුණ අන්දමට ම නොවන්නේ ය. පහත් දේ උසස් කරන්න; උසස් දේ පහත් කරන්න. 27 මම නගරය නටබුන් ගොඩක් කරන්නෙමි; එසේ ය, නටබුන් ගොඩක් කරන්නෙමි. නටබුන් ගොඩක් ම කරන්නෙමි. එහෙත්, නගරයට දඬුවම් කරන්න මා තෝරාගෙන තිබෙන තැනැත්තා එන තෙක් මෙය සිදු වන්නේ නැත. ඔහු පැමිණි විට එය ඔහුගේ විනිශ්චයට පාවා දෙන්නෙමි.’

අම්මොන්වරුන්ට අනතුරු ඇඟවීමක්

28 ”මනුෂ්‍ය පුත්‍රය, නුඹ දිවැසි වදන් පවසමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට නින්දා කරන අම්මොන්වරුන්ට මෙසේ කියන සේකැ’යි කියන්න. ඔවුන්ට මෙසේ කියන්න: ‘කඩුවක්, සැබැවින් ම ඝාතනය පිණිස වන කඩුවක් කොපුවෙන් ඇද තිබේ. මරාදමන පිණිස එය විදුලිය මෙන් දිළිසෙයි. 29 නුඹලා දකින දර්ශන බොරු ය; නුඹලා පවසන දිවැස් වැකි මුසාවකි; නුඹලා නපුරු ය; දුෂ්ට ය. නුඹලාට නියම දිනය පැමිණෙන්නේ ය. එනම්, අන්තිම දඬුවම් දීමේ දවස පැමිණෙන්නේ ය.
30 ” ‘නුඹේ කඩුව කොපුවේ නැවත දමන්න. නුඹ මවනු ලැබූ ස්ථානයෙහි, නුඹේ උත්පත්තිය ලැබූ දේශයේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි. 31 මාගේ උදහස නුඹලා පිට වගුරුවා, මාගේ කෝපාග්නිය නුඹලා පිට පිඹ, රෞද්‍ර විනාශ කිරීමට දක්ෂ මනුෂ්‍යයන් අතට නුඹලා පාවා දෙන්නෙමි. 32 නුඹලා ගින්නට දර පිණිස වන්නහු ය. නුඹේ ලේ දේශය මැද වැගිරෙන්නේ ය. නුඹලා තවත් සිහි කරනු නොලබන්නහු ය. කුමක් නිසා ද, මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.’ ”

Suba Asna - සුබ අස්න

FREE
VIEW