එසකියෙල් – 10 වන පරිච්ඡේදය –

දේව තේජස පහ වී යාම

1 මම බැලූ විට, කෙරුබ්වරුන්ගේ හිස්වලට ඉහළින් නීලමාණික්‍යයන් වැනි සිංහාසනයක රූපයක් දිටිමි. 2 උන් වහන්සේ හණ වස්ත්‍ර හැඳගෙන සිටි මනුෂ්‍යයාට කතා කොට, ”නුඹ කෙරුබ්වරුන්ට යටින් කරකැවෙන චක්‍ර අතරට ඇතුළු වී, කෙරුබ්වරුන් අතරේ තිබෙන ගිනි අඟුරුවලින් නුඹේ දෑත පුරවාගෙන නුවර පිට විසුරුවා හරින්නැ”යි වදාළ සේක.
3 ඔහු මා බලා සිටිය දී ඇතුළු විය. ඒ මනුෂ්‍යයා ඇතුළු වන විට කෙරුබ්වරු මාලිගාවේ දකුණු පැත්තෙහි සිටියෝ ය. ඇතුළු මළුව ද වලාකුළෙන් පිරුණේ ය. 4 එවිට සමිඳාණන් වහන්සේගේ තේජස කෙරුබ්වරුන් කෙරෙන් නැඟී එළිපත්ත මතුයෙහි නැවතුණේ ය. මාලිගාව වලාකුළෙන් පිරුණේ ය. මළුව ද සමිඳාණන් වහන්සේගේ තේජසේ දීප්තියෙන් පිරුණේ ය. 5 කෙරුබ්වරුන්ගේ පියාපත්වල ශබ්දය ද සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ කතා කරන හඬ මෙන් පිටත මළුව දක්වා ඇසුණේ ය.
6 කරකැවෙන චක්‍ර අතරෙන් ද කෙරුබ්වරුන් අතරෙන් ද ගිනි අරගන්න කියා හණ වස්ත්‍ර හැඳගෙන සිටි මනුෂ්‍යයාට උන් වහන්සේ අණ කළ විට, ඔහු ඇතුළු වී චක්‍රයක් ළඟ සිටගත්තේ ය. 7 කෙරුබ්වරයෙක් කෙරුබ්වරුන් අතරේ තිබුණ ගින්නට කෙරුබ්වරුන් අතරෙන් තමාගේ අත දිගු කොට, එයින් ගිනි රැගෙන හණ වස්ත්‍ර හැඳගෙන සිටි තැනැත්තාගේ දෑතට දුන්නේ ය. ඔහු ද එය රැගෙන පිටතට ගියේ ය.
8 කෙරුබ්වරුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අතක ස්වරූපයක් පෙනුණේ ය. 9 මම බැලූ විට මෙසේ දිටිමි. කෙරුබ්වරුන් ළඟ රෝද සතරක් එනම්, එක කෙරුබ්වරයෙකු ළඟ එක රෝදයක් බැගින් තිබිණි. රෝදවල පෙනීම ද රන් කාන්තියක දිස්නය වැනි ය. 10 ඒ සතරට ම තිබුණේ එකාකාර ස්වරූපයකි. ඒවායේ පෙනීම වනාහි රෝදයක් තුළ රෝදයක් තිබෙන්නාක් මෙන් ය. 11 කෙරුබ්වරුන් සතර දිශාවෙන් එක දිශාවකට ගමන් ගත් විට ඔව්හු යන මාර්ගයෙන් අන් අතකට නොහැරුණෝ ය. මාර්ගයෙන් පිට නොපැන ඔවුන්ගේ හිස් හැරී තිබුණ දෙසට ඔව්හු කෙළින් ම ගමන් කළහ. 12 ඔවුන්ගේ මුළු ශරීරවල ද ඔවුන්ගේ පිටවල ද අත්වල ද පියාපත්වල ද රෝදවල ද වටකර පුරා ම ඇස් තිබුණේ ය. ඒ සතර දෙනාටත්, ඔවුන්ගේ රෝදවලටත් එසේ ම ඇස් තිබුණේ ය. 13 ඒ රෝදවලට ‘භ්‍රමණ චක්‍ර’යි නම් තබනු මට ඇසුණේ ය.
14 එක් එක් කෙරුබ්වරයාට මුහුණු සතරක් විය. පළමු වන මුහුණ කෙරුබ්වරයෙකුගේ මුහුණකි, දෙ වන මුහුණ මනුෂ්‍ය මුහුණකි, තුන් වන එක සිංහ මුහුණකි, සතර වන එක රාජාලි මුහුණකි. 15 කෙරුබ්වරු ද ඉහළට නැංඟෝ ය. ඔව්හු වනාහි කෙබාර් ගඟ ළඟ දී මා දුටු ජීවමාන සත්ත්වයෝ ය. 16 තවද, කෙරුබ්වරුන් යන විට රෝද ද ඔවුන් කැටුව ගියේ ය. පොළොව මතුපිටින් නඟින්න කෙරුබ්වරුන් තමන්ගේ පියාපත් විදහාගත් විට රෝද ඔවුන් වෙතින් ඉවත් නො වී ය. 17 ඔවුන් නැවතුණු කල ඒවාත් නැවතුණේ ය. ඔවුන් නඟින කල ඒවාත් ඔවුන් සමඟ නැංඟේ ය. මන්ද, සත්ත්වයෝ ඒවා පාලනය කළහ.
18 එවිට සමිඳාණන් වහන්සේගේ තේජස මාලිගාවේ එළිපත්ත මතුපිටින් පිටතට ගොස් කෙරුබ්වරුන්ට ඉහළින් පිහිටියේ ය. 19 කෙරුබ්වරු ඉදිරියට යමින් සිය පියාපත් විදහා පා මා බලා සිටිය දී පොළොවෙන් ඉහළට නැංඟෝ ය. රෝදත් ඔවුන් සමඟ ම නැංඟේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ නැගෙනහිර දොරකඩ සිටියෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ තේජස ද ඔවුන්ට උඩින් තිබුණේ ය. 20 මොවුහු වනාහි කෙබාර් ගංගාව ළඟ දී ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යටින් සිටිනු මා දුටු සත්ත්වයෝ ය. ඔවුන් කෙරුබ්වරුන් බව මම දැනගතිමි.
21 එක එකාට මුහුණු සතරක් බැගින් ද එක එකාට පියාපත් සතරක් බැගින් ද ඔවුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අත් වැනි ස්වරූපයක් ද තිබුණේ ය. 22 ඔවුන්ගේ මුහුණුවල පෙනීමත් හරියට ම මා කෙබාර් ගඟ ළඟ දී දුටු මුහුණුවල පෙනීමට සමාන ය. ඔව්හු එකිනෙකා කෙළින් ම ඉස්සරහට ගියහ.

Suba Asna - සුබ අස්න

FREE
VIEW