උපදේශකයා හෙවත් සිරාක් – 7 වන පරිච්ඡේදය –

විවිධ උපදේශ

1 නපුරු දේ නොකරන්න.
එවිට ඔබට නපුර සිදු නොවන්නේ ය.
2 අධර්මයෙන් ඉවත් වන්න;
එවිට එය ඔබෙන් ඉවත් ව යන්නේ ය.
3 පුත්‍රය, අදමිටු බිම්වල කිසිවක් නොවපුරන්න.
වැපුරුවොත්, නියම ප්‍රමාණයට මෙන්, සත් ගුණයක් කපාගන්නෙහි ය.
4 සමිඳුන්ගෙන් උසස් ම තැන නොඉල්ලන්න.
රජුගෙන් ගෞරව ආසනයක් නොඉල්ලන්න.
5 සමිඳුන් අබිමුව ඔබේ යහපත්කම ප්‍රදර්ශනය නොකරන්න.
රජු අබිමුව ඔබේ ප්‍රඥාව ප්‍රදර්ශනය නොකරන්න.
6 අසාධාරණකම සහමුලින් ම විනාශ කිරීමට ඔබට නොහැකි විය හැකි ය.
විනිශ්චයකරුවන් ලෙස පත් වන්නට කූටෝපායයන් නොයොදන්න.
මන්ද, බලවතෙකු විසින් නම්මාගනු ලැබීමට ඔබ ඉඩ දෙන්නට පුළුවන.
මෙසේ ඔබේ පරිණත බවට අනතුරු වීමට ඔබ ඉඩ තබන්නෙහි ය.
7 පුරවැසි සමාජයට අයුත්තක් නොකරන්න.
ජනයාගෙන් ලැබෙන පිළිගැනීම නැති විය හැකි ය.
8 දෙ වරක් පව් කිරීමට පොළඹනු ලබන්නට ඉඩ නොදෙන්න.
එක් වරක් වුව ද ඔබ දඬුවම් නොලැබ නොබේරෙන්නෙහි ය.
9 මහො‍්ත්තමයාණන් වහන්සේට මාගේ පඬුරු ඔප්පු කරන විට මාගේ පඬුරුවල විශාලකම සලකා උන් වහන්සේ ඒවා පිළිගනු ඇතැ යි නොසිතන්න.
10 යාච්ඤාවෙහි දී ඉවසිලිමත් වන්න.
දන් දීම අතපසු නොකරන්න.
11 දුකින් පෙළෙන්නෙකුට සරදම් නොකරන්න.
ඔහු පහත් කළ තැනැත්තාට ඔහු ඔසවන්නට ද හැකි ය.
12 ඔබේ සහෝදරයාට විරුද්ධ ව බොරු දෝෂාරො‍්පණ ඉදිරිපත් නොකරන්න.
මිතුරෙකුට විරුද්ධ ව ද එසේ නොකරන්න.
13 බොරු නොකියන්නට පරිස්සම් වන්න.
එයින් කිසි යහපතක් සිදු නොවන්නේ ය.
14 මූලිකයන්ගේ සභාවෙහි දී දීර්ඝ කතා නොපවත්වන්න.
ඔබේ යාච්ඤාවල වචන නැවත නැවතත් නොකියන්න.
15 වෙහෙස උපදවන වැඩ අප්‍රිය නොකරන්න.
මහො‍්ත්තමයාණන් වහන්සේ මැවූ කෙත්වල වැඩ පිළිකුල් නොකරන්න.
16 පව්කාරයන් සමඟ පෙළ නොගැසෙන්න.
උදහස ප්‍රමාද නොවන බව සිහි කරන්න.
17 බොහෝ සේ බැගෑපත් වන්න.
මන්ද, අධර්මිෂ්ඨයාගේ දඬුවම ගින්න සහ පණුවන් වන බැවිනි.
18 ලාභය තකා මිත්‍රයෙකු පාවා නොදෙන්න.
අගනා රන් පතා හිතවත් සහෝදරයෙකු පාවා නොදෙන්න.
19 නැණවත් ගුණවත් බිරිඳක පෙළවහට ගන්නට මැළි නොවන්න.
ඇගේ සිරියාව රනට වඩා අගනේ ය.
20 අවංක ලෙස වැඩ කරන දාසයෙකුට පීඩා නොකරන්න.
හොඳට වැඩ කරන මෙහෙකරුවාට හිරිහැර නොකරන්න.
21 නැණනුවණ ඇති වහල් සේවකයාට ඔබට මෙන් ම ප්‍රේම කරන්න.
ඔහුගේ නිදහස ප්‍රතික්ෂේප නොකරන්න.

දරුවෝ

22 ඔබට ගවමහීෂයෝ සිටිත් ද?
උන් රැකබලාගන්න.
ඔබට ප්‍රයෝජනවත් නම් උන් තබාගන්න.
23 ඔබට දරුවෝ සිටිත් ද?
ඔවුන්ට උගන්වන්න.
ළමා වියේ පටන් ම ඔවුන් කීකරුකමට නමාගන්න.
24 ඔබට දූවරු සිටිත් ද?
ඔවුන්ගේ ශරීර ආරක්ෂා කරන්න.
එහෙත්, පමණට වඩා කරුණාව නොපෙන්වන්න.
25 ඔබේ දුව සරණ පාවා දෙන්න.
එවිට ඔබ මහඟු වැඩක් නිම කෙළෙහි ය.
එහෙත් ඇය, බුද්ධිමත් මිනිසෙකුට දෙන්න.
26 ඔබට පියකරු බිරිඳක් සිටී ද?
ඇය පිටමං නොකරන්න. එහෙත්, ඔබ ඈට ප්‍රේම නොකරන්නෙහි නම්, කිසි දාක ඇය විශ්වාස නොකරන්න.

දෙමවුපියෝ

27 ඔබේ මුළු සිතින් ඔබේ පියාට ගෞරව කරන්න.
ඔබේ මව විඳි ප්‍රසව වේදනාව කිසි දිනෙක අමතක නොකරන්න.
28 ඔවුන් ඔබට මෙලෝ එළිය දුන් බව අමතක නොකරන්න.
ඔබ උදෙසා ඔවුන් කළ දේට ඔබ කෙලෙසින් කළගුණ සලකන්නට ද?

පූජක පක්ෂය

29 ඔබේ මුළු සිතින් ඔබේ මැවුම්කාරයාණන්ට බිය වන්න.
උන් වහන්සේගේ පූජකයන්ට ගෞරව කරන්න.
30 ඔබේ මුළු ශක්තියෙන් ඔබේ මැවුම්කාරයාණන්ට ප්‍රේම කරන්න.
උන් වහන්සේගේ සේවකයන් අත් නොහරින්න.
31 සමිඳුන්ට ගරුබිය පාන්න. පූජකයාට ගෞරව කරන්න.
නියම කරන ලද කොටස ඔහුට දෙන්න.
නාඹුල් ඵලය, වන්දි ගෙවීමේ යාගය, පවිත්‍ර වීමේ යාගය, ශුද්ධ දේවල ප්‍රථම ඵලය ඔහුට දෙන්න.

දුගියෝ හා පීඩිතයෝ

32 දුප්පතාට ද නොමසුරු ව දෙන්න.
එවිට ඔබේ ආශීර්වාදය සම්පූර්ණ වන්නේ ය.
33 ඔබේ ත්‍යාගිවන්තකම සියලු ජීවතුන් සම්බන්ධයෙන් වේ වා, මළවුන්ට පවා ඔබේ කරුණාව ප්‍රතික්ෂේප නොකරන්න.
34 වැලපෙන්නන් කෙරෙන් ඉවතට නොහැරෙන්න.
ශෝක වන්නන් සමඟ ශෝක වන්න.
35 ලෙඩුන් බලන්නට යාමෙන් නොවළකින්න.
මෙබඳු ක්‍රියාවන් මඟින් ඔබ ආදරය දිනාගන්නෙහි ය.
36 ඔබේ සියලු කටයුතුවල දී ඔබේ අන්තිමය සිහි කරන්න.
එවිට ඔබ කිසි දිනෙක පව් නොකරන්නෙහි ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW