උපදේශකයා හෙවත් සිරාක් – 50 වන පරිච්ඡේදය –

සීමොන් නායක පූජක තුමා

1 ඔනියාස්ගේ පුත් නායක පූජක සීමොන් තම ජීවිතයෙහි දී දේව මාලිගය අලුත්වැඩියා කෙළේ ය.
තමාගේ දවස්වල දී ශුද්ධස්ථානය ශක්තිමත් කෙළේ ය.
2 දෙගුණයක් උස බිත්තියේ ද දේව මාලිගාව පිහිටි භූමි භාගයේ උස් පනා බැම්මේ ද අත්තිවාරම ඔහු විසින් දමන ලද්දේ ය.
3 ඔහුගේ කාලයේ දී ජලාශය කණින ලද්දේ ය.
එය මුහුද මෙන් විශාල ජලාශයකි.
4 ඔහු තම සෙනඟගේ විනාශය වැළැක්වීමේ ආශාවෙන් නුවර වටලනු නොලබන පිණිස එය ශක්තිමත් කෙළේ ය.
5 තිරය පිටුපසින් පිටතට ආ විට සෙනඟ ඔහු වට කළ කල්හි ඔහු කොපමණ තේජස්වී වූයේ ද?
6 ඔහු වලාකුළු මැද පහන් තරුව මෙන් විය;
පුන් සඳ මෙන් විය.
7 මහො‍්ත්තමයාණන් වහන්සේගේ මාලිගාව පිට රැස් විහිදුවන හිරු මෙන් විය.
දීප්තිමත් වලා පටලයක් ඉදිරියෙන් විනිවිද දිළිසෙන දේදුන්න මෙන් විය.
8 වසන්ත කාලයේ සෙව්වන්දි පුෂ්ප මෙන් විය;
ජල උල්පත් අසල වැඩුණු මානෙල් මල් මෙන් විය;
ගිම්හාන කාලයේ ලෙබනොන්හි ගසේ රිකිල්ලක් මෙන් විය.
9 ධූම පාත්‍රයෙහි ගින්න හා තුවරලා මෙන් විය;
තැළූ රනින් නිමවා, නා නා විධ මැණික් ඔබ්බන ලද භාජනයක් මෙන් විය.
10 පල බර ඔලීව ගසක් මෙන් විය;
වලාකුළු දක්වා උස් වූ දේවදාර ගසක් මෙන් විය.
11 ඔහු තම අලංකාර සළුව ඇඳ, උත්කෘෂ්ට ආභරණ පැළඳගත් කල්හි, ශුද්ධ පූජාසනය වෙත නැඟ, ශුද්ධස්ථානයේ සීමාවන් මහිමයෙන් පිරවූ කල්හි,
12 පූජාසනයේ උදුන ළඟ සිටිමින් පූජකවරුන්ගේ අත්වලින් පඬුරු ලැබූ කල්හි, තාල කඳන්වලින් වට කරන ලද ලෙබනොන්හි කොළ දරන කිහිරි ගසක් සේ සහෝදරයන් සමූහයක් විසින් පිරිවරන ලදුව සිටි කල්හි,
13 ආරොන්ගේ සියලු පුත්‍රයන් අලංකාර ලෙස සැරසී තමන්ගේ අත්හි සමිඳුන්ට පඬුරු ඇති ව ඉශ්රායෙල්වරුන්ගේ මුළු සභාව ඉදිරියෙහි සිටි කල්හි,
14 සව් බලැති මහො‍්ත්තමයාණන් වහන්සේට උදාර ලීලාවෙන් පඬුරු ඔප්පු කරමින් පූජාසනයේ පුද පූජා සම්පූර්ණ කළ කල්හි ඔහු කොපමණ තේජස්වී වූයේ ද?
15 ඔහු කුසලානට අත දිගු කර මිදියුස ස්වල්පයක් වත් කිරීමට සලස්වා සියල්ලන්ගේ රජාණන් වන මහො‍්ත්තමයාණන් වහන්සේට ප්‍රිය සුවඳක් මෙන් එය පූජාසනයේ පාමුල වත් කෙළේ ය.
16 එවිට ආරොන්ගේ පුත්‍රයෝ මහා නාද කළො‍් ය.
තැළූ ලෝහයෙන් සෑදුණු හොරණෑ පිම්බෝ ය;
මහො‍්ත්තමයාණන් වහන්සේ ඉදිරියෙහි සිහි වීමක් වශයෙන් ජය ඝෝෂා කළො‍් ය.
17 එවිට හදිසියෙන් සියලු සෙනඟ එක හෙළා සව් බලැති දෙවිඳුන් වන මහො‍්ත්තම සමිඳුන් හට වන්දනා කරමින් මුණින් වැටුණෝ ය.
18 ගායකයෝ ද ප්‍රශංසා ගීත ගැයූ හ.
මේ මහ නාදය මධුර ස්වර සංවාදයෙන් විය.
19 සමිඳුන්ගේ මෙහෙය නිම වන තෙක් ද ශුද්ධ වත්පිළිවෙත් අවසාන වන තෙක් ද සෙනඟ මහො‍්ත්තම සමිඳුන් හට බැගෑපත් ලෙස ආයාචනා කළො‍් ය.
දයාබර තැනැන් වහන්සේට යාච්ඤාවෙන් ඇමතුවෝ ය.
20 ඉන්පසු ඔහු මහත් ලෙස ශබ්ද නඟා සමිඳුන්ගේ ආසිරි දීමට ද උන් වහන්සේගේ නාමය උච්චාරණය කිරීමේ ගෞරවය ලබාගැනීමට ද පහතට බැස ඉශ්රායෙල් සෙනඟගේ මුළු සභාව දෙසට අත එසවූයේ ය.
21 එවිට සෙනඟ මහො‍්ත්තමයාණන් වහන්සේගේ ආසිරි ලබාගනු සඳහා යළිත් මුණින් වැටුණෝ ය.

අනුශාසනය

22 එහෙයින් දැන් මුළු ලෝකයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න.
උන් වහන්සේ සැම තැන්හි මහත් දේවල් කළ සේක.
මවු ගැබෙහි පටන් අපේ දවස් උසස් කළ සේක.
තම දයාවෙන් අප වෙත ක්‍රියා කළ සේක.
23 උන් වහන්සේ අපට ප්‍රීතිමත් හෘදයක් දෙන සේක් වා!
අපේ කාලයට සාමදානය ප්‍රදානය කරන සේක් වා!
ඉශ්රායෙල්හි යුගයෙන් යුගයට එසේ වේ වා!
24 උන් වහන්සේගේ ප්‍රසාදය අප සමඟ විශ්වාසවන්ත ලෙස වේ වා!
අපේ කාලයෙහි දී උන් වහන්සේ අපට මිදීම සලසන සේක් වා!

ගණන් වශයෙන් වූ ආප්තෝපදේශ

25 මාගේ සිත පිළිකුල් කරන මනුෂ්‍ය ජාති දෙකක් ඇත්තේ ය.
තුන්වැන්න ජාතියක් නොවේ.
26 ඒවා නම්, සේයිර් කඳුකරයෙහි වාසය කරන්නෝ ය,
පිලිස්තිවරු ය, සිකෙම්හි වාසය කරන අමන ජනයා ය.

අවසානය

27 ප්‍රඥාව හා අවබෝධය ගැන ඉගැන්වීමක් මේ පොතෙහි ලේඛනගත කර ඇත්තේ ය.
ජෙරුසලමේ සිරාගේ පුත්‍ර වූ එලෙයසාර්ගේ පුත් ජේසුස් තමාගේ හෘදයෙන් ප්‍රඥාව වර්ෂාවක් මෙන් වැගිරෙව්වේ ය.
28 තම කාලය මේ දේවලට කැප කරමින් ඒවා තම හෘදය තුළට ගෙන ප්‍රඥාව ලබාගන්න තැනැත්තේ ආශීර්වාද ලද්දෙකි.
ඔහු මෙසේ කළොත් සියලු අවස්ථාවල දී ඔහු ශක්තිමත් වන්නේ ය.
මන්ද, සමිඳුන්ගේ ආලෝකය ඔහුගේ මාර්ගයේ වන හෙයිනි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW