උපදේශකයා හෙවත් සිරාක් – 30 වන පරිච්ඡේදය –

දරුවන් ඇතිදැඩි කිරීම

1 තම පුත්‍රයාට ප්‍රේම කරන්නා ඔහුට බොහෝ විට තළන්නේ ය.
පසු කලෙක දී මේ පුත්‍රයා ඔහුගේ සැනසිල්ල වන්නේ ය.
2 තම පුත්‍රයා මනා ලෙස ඇතිදැඩි කරන්නා එහි ඵල නෙළා ගන්නේ ය.
තමා අඳුනන අය අතර ඔහු ගැන ආඩම්බර වන්නේ ය.
3 තම පුත්‍රයා පුහුණු කරන්නා තම සතුරන් ඊර්ෂ්‍යා සහගත කරවන්නේ ය.
තම මිතුරන් ඉදිරියෙහි ඔහු ගැන ප්‍රීතියෙන් පිනා යන්නේ ය.
4 තම පියා මැරුණු විට පවා ඔහු නොමැරුණාක් මෙනි.
මන්ද, ඔහු තමාට සමාන පුතෙකු ඉතුරු කර යන හෙයිනි.
5 ජීවත් ව සිටිය දී ඔහුගේ ආශ්‍රයෙන් ඔහුට ප්‍රීතිය ලැබුණේ ය.
මරණයෙහි දී ඔහුට සිත් වේදනාවක් නැත්තේ ය.
6 ඔහු තම සතුරන්ට විරුද්ධ ව පළිගන්නෙකු තබා යන්නේ ය.
තම මිතුරන්ගේ උපකාරවලට ප්‍රතිවිපාක දීමට කෙනෙකු තබා යන්නේ ය.
7 තම පුත්‍රයාට අධික ලෙස සැප සලසන්නා ඔහුගේ සුළු තුවාළ පවා වෙළන්නේ ය.
ඔහු අඬන හැම විට ම පියාට සිත් වේදනා ඇති වන්නේ ය.
8 හීලෑ නොකරන ලද අශ්වයා මුරණ්ඩු වන්නේ ය.
නොහික්මවන ලද දරුවා හිතුවක්කාරයෙක් වන්නේ ය.
9 ඔබ තම පුත්‍රයා සුරතල් කළොත් ඔහු ඔබ තැති ගන්වන්නේ ය.
ඔබ ඔහු සමඟ සෙල්ලම් කළොත් ඔහු ඔබට දුක් දෙන්නේ ය.
10 ඔබ අන්තිම දක්වා දත්මිටි කන්නට කැමැති නැත්නම්, ඔහු සමඟ දුක් වන්නට කැමැති නැත්නම් ඔහු සමඟ සිනා නොවන්න.
11 බාල කාලයෙහි දී ඔහුට නිදහසක් නොදෙන්න.
ඔහුගේ මො‍්ඩකම් නුදුටුවාක් මෙන් නොසිටින්න.
12 බාල කාලයේ දී ඔහුගේ කොඳු ඇටය නමන්නට සලස්වන්න.
ඔහු ළමයෙකු ව සිටිය දී ඔහුගේ ඇළයට තළන්න.
එසේ නොකළොත් ඔහු මුරණ්ඩු වී ඔබට අකීකරු වන්නේ ය;
ඔබට වේදනා දෙන්නේ ය.
13 ඔබේ පුත්‍රයා හොඳින් ඇතිදැඩි කරන්න;
හොඳින් පුහුණු කරන්න.
එසේ නොකළොත් ඔහුගේ ගරුසරු නැතිකමින් ඔබ ශෝකයට පත් වන්නෙහි ය.

ශාරීරික සනීපය

14 ශරීර පීඩා විඳින ධනවතෙකුට වඩා නිරො‍්ගි ශක්තිමත් දුප්පතා හොඳ ය.
15 සනීපය සහ ශක්තිය රත්රන්වලට වඩා අගනේ ය.
වීර්යය ඇති ශරීරය අතිවිශාල ධනයට වඩා හොඳ ය.
16 ශරීර සනීපයට වඩා අගනා ධනයක් නැත්තේ ය.
හෘදයේ ප්‍රීතියට වඩා උසස් සතුටක් නැත්තේ ය.
17 දුකින් පිරුණු ජීවිතයට වඩා මරණය හොඳ ය.
නිදන්ගත රො‍්ගයකට වඩා සදා සැනසීම යහපත් ය.
18 වැසූ කටක් ළඟ නොමසුරු ව තබන ලද ආහාර මිනීවළක් උඩ තබන ලද ආහාර පූජා වැනි ය.
19 දේවතා රූපයකට ආහාර පූජාවක් ඔප්පු කිරීමෙන් ඇති ඵල කිම?
ඒ රූපය එය නොකන්නේ ය;
එය ආඝ්‍රාණය නොකරන්නේ ය.
සමිඳුන් විසින් පීඩා කරනු ලබන්නා එවැන්නෙකි.
20 ඔහු බලා සුසුම්ලන්නේ ය;
ඔහු කන්‍යාවක වැළඳගෙන සුසුම්ලන නපුංසකයෙකු මෙනි.

ප්‍රීතිය

21 දුකෙහි ම ගිලී සිටීමට ඉඩ නොදෙන්න.
කණස්සල්ලෙන් සිතේ පීඩා ඇති කර නොගන්න.
22 සිතේ සතුට මනුෂ්‍යයාගේ ප්‍රාණය වන්නේ ය.
ප්‍රමො‍්දය ඔහුට දීර්ඝායු දෙන්නේ ය.
23 ඔබේ කණස්සල්ල විනෝදයට හරවාගන්න, ඔබේ සිත සනසාගන්න, ඔබේ ශෝකය පලවා හරින්න.
මන්ද, ශෝකයෙන් බොහෝ දෙනා විනාශ වූ හෙයිනි.
එයින් කිසිවෙකුට පලක් නැත.
24 ද්වේෂය හා කෝපය ඔබේ ජීවිත කාලය කෙටි කරන්නේ ය.
කරදර නිසා අකාල මරණය සිදු වන්නේ ය.
25 උද්‍යෝගිමත් මිනිසාට හොඳට කෑමට රුචියක් ඇත්තේ ය.
තමා කන කෑමෙන් ඔහු ප්‍රයෝජන ලබාගන්නේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW