උපදේශකයා හෙවත් සිරාක් – 24 වන පරිච්ඡේදය –

ප්‍රඥාවට ප්‍රශංසාව

1 ප්‍රඥා තොමො‍් තමා ගැන ම පැසසුම් ගායනා කරන්නී ය, ඈ තම සෙනඟ අතර තම උදාරත්වය ප්‍රකාශ කරන්නී ය.
2 මහො‍්ත්තමයාණන් වහන්සේගේ සභාවෙහි ඈ තම මුඛය විවෘත කරන්නී ය.
බලවතාණන් වහන්සේගේ අභිමුඛයෙහි ඈ තම උදාරත්වය ප්‍රකාශ කරන්නී ය.
3 ”මම මහො‍්ත්තමයාණන් වහන්සේගේ මුඛයෙන් නික්මුණෙමි;
මීදුමක් මෙන් පොළොව වසාලූයෙමි.
4 මම උසස් තැන්වල වාසය කෙළෙමි;
මාගේ සිංහාසනය වලාකුළු කණුවක විය.
5 මම හුදකලා ව අහස් කුස වට කර ගමන් කෙළෙමි;
ගැඹුරේ පත්ලෙහි ගමන් කෙළෙමි.
6 මුහුදේ තරඟ පිට හා මුළු පොළොව පිට ද සියලු මනුෂ්‍යයන් හා ජාතීන් කෙරෙහි ද මම රජකම් කෙළෙමි.
7 මේ සියලු දෙනා අතරෙහි මම විවේක ස්ථානයක් සෙවීමි;
කුමන දේශයක කඳවුරු බඳින්නට දැ යි සොයා බැලුවෙමි.
8 එවිට සියලු දේ මැවූ තැනැන් වහන්සේ මට ආඥාවක් දුන් සේක.
මා මැවූ තැනැන් වහන්සේ මාගේ කූඩාරම පිහිටුවන්නට තැනක් සැලැසූ සේක.
”ජාකොබ්හි ඔබේ කූඩාරම පිහිටුවන්න;
ඉශ්රායෙල් ඔබේ උරුමය කර ගන්නැ”යි මට වදාළ සේක.
9 සදා කාලයේ පටන් ආරම්භයේ දී ම උන් වහන්සේ මා මැවූ සේක.
සදා කාලයට ම මම පවතින්නෙමි.
10 ශුද්ධ කූඩාරමෙහි එතුමන් අබිමුව මම සේවය කෙළෙමි.
මෙසේ මම සියොනෙහි නවාතැන් ගනිමි.
11 උන් වහන්සේ සිය ප්‍රිය නගරයෙහි මාගේ නැවතුම් පළ මට ලබා දුනි.
ජෙරුසලමෙහි මාගේ බලය භාවිතා කරමි.
12 මහිමයෙන් පූර්ණ වූ සෙනඟක් තුළ මම මුල් ඇද්දෙමි. එනම්, සමිඳුන්ගේ කූඩාරමෙහි ය;
උන් වහන්සේගේ උරුමයෙහි ය.
13 ලෙබනොන්හි කිහිරි ගසක් මෙන් මම වර්ධනය වූයෙමි.
හෙර්මොන් කන්ද මත දේවදාර ගසක් මෙන් වූයෙමි.
14 මම එන්ගද්දි දේශයෙහි තාල වෘක්ෂයක් මෙන් ද ජෙරිකෝවේ සෙව්වන්දි ලැහැබ් මෙන් ද මිටියාවතෙහි ශෝභන ඔලීව ගසක් මෙන් ද අතු විහිදුවන සෙවණැති ගසක් මෙන් ද වැඩුණෙමි.
15 කුරුඳු හා කස්තුරි මෙන් මම සුවඳ විහිදෙව්වෙමි. විශිෂ්ට සුවඳ ලාටු මෙන් සුගන්ධයක් පිට කෙළෙමි.
ඒ සුවඳ මැලියම්, දුම්මල, පළිඟු සාම්බ්‍රානි මෙන් ය;
කූඩාරම තුළ තුවරලා මෙන් .
16 මම නුග ගසක් මෙන් මාගේ අතු විහිදෙව්වෙමි.
මාගේ අතු තේජවන්ත ය, ශෝභමාන ය.
17 මම රමණීය අතු ඇති මිදි වැලක් මෙන් වෙමි.
මාගේ මල් මහිමයේ ද ධනයේ ද පලදාව වන්නේ ය.
18 මම වනාහි පිවිතුරු ප්‍රේමයේ ද, ගරුබියේ ද දැනුමේ ද දැහැමි බලාපොරොත්තුවේ ද මාතාව වෙමි.
ආදියේ පටන් එතුමන් විසින් පත්කරන ලද මාගේ දරුදැරියන් වෙත මම පැමිණෙමි.
19 මා ආශා කරන ඔබ මා වෙත එන්න.
මාගේ පලදාවෙන් සෑහීමට පත් වන්න.
20 මා සිහි කිරීම මී පැණියට වඩා මිහිරි ය.
මා අයිති කරගැනීම මී වදයට වඩා මධුර ය.
21 මා අනුභව කරන්නෝ තවතවත් ආශා කරන්නෝ ය.
මා පානය කරන්නෝ තවතවත් පිපාසා වන්නෝ ය.
22 මට කීකරු වන්නා ලජ්ජා නොවන්නේ ය.
මා කියන ලෙස කරන්නෝ පව් නොකරන්නෝ ය.

ප්‍රඥාව හා ව්‍යවස්ථාව

23 ප්‍රඥාව හා ව්‍යවස්ථාව අන් කිසිවක් නොව මහො‍්ත්තම දෙවියන් වහන්සේගේ ගිවිසුම් පොත වන්නේ ය.
මෝසෙස් විසින් පතළ කරන ලද ව්‍යවස්ථාව වන්නේ ය.
එය ජාකොබ්ගේ සභාවලට උරුමයක් වශයෙන් දෙන ලද්දේ ය.
24 සමිඳුන් තුළ නොනවත්වා සවිමත් වන්න.
ඔබට සවිය ලැබෙන ලෙස එතුමන්ට ඇලුම් කරන්න.
සවි බලැති සමිඳාණෝ පමණක් දෙවිඳාණෝ ය.
එතුමන් හැර වෙන ගැළවුම් කාරයෝ නැත.
25 එය පීෂොන්හි ජලය මෙන් ප්‍රඥාව පිරීයන්නට සලසන්නේ ය.
ඵල වාරයේ දී ටයිග්‍රීස් නදිය මෙන් වන්නේ ය.
26 එය යුප්‍රටීස් නදිය මෙන් ඥානය උතුරා යන්නට සලසන්නේ ය.
අස්වැන්න කාලයේ දී ජො‍්ර්දානය මෙන් වන්නේ ය.
27 නයිල් ගඟ මෙන් විනය ගලා යන්නට සලසන්නේ ය.
මිදි නෙළන කාලයේ දී ගීහොන් මෙන් වන්නේ ය.
28 ප්‍රථම මනුෂ්‍යයා එය සම්පූර්ණයෙන් ග්‍රහණය නොකෙළේ ය.
එසේ ම නූතන මනුෂ්‍යයාත් එය තව ම සම්පූර්ණයෙන් තේරුම් නොගත්තේ ය.
29 මන්ද, ඇගේ කල්පනා මුහුදට වඩා විශාල වන හෙයිනි, ඇගේ අරමුණ මහා ගැඹුරට වඩා සාරගර්භ වන හෙයිනි.
30 තවද, මම ගංගාවකින් නික්ම එන දිය ඇලක් මෙන් වෙමි, උයනකට යන දිය පාරක් මෙනි.
31 ”මම මාගේ පලතුරු වත්තට දිය දෙන්නට යමි”යි කීවෙමි.
”මාගේ මල් පාත්තිවලට ජලය සපයන්නට යමි”යි කීවෙමි.
බලන්න, මාගේ දිය ඇල, ගංගාවක් වූයේ ය;
ගංගාව මුහුදක් වූයේ ය.
32 මම අරුණෝදය මෙන් විනය බබළන්නට සලසන්නෙමි;
එහි ආලෝකය දුර තැන්වලට යවන්නෙමි.
33 අනුශාසනය දිවැස් වැකියක් මෙන් පතුරුවන්නෙමි.
මතු එන පරම්පරාවන් වෙත එය උරුමයක් මෙන් පමුණුවන්නෙමි.
34 බලන්න, මා වැඩ කරන්නේ මා උදෙසා නොවේ;
ප්‍රඥාව සොයන සියලු දෙනා උදෙසා ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW