උපදේශකයා හෙවත් සිරාක් – 20 වන පරිච්ඡේදය –

නිහඬ බව සහ දොඩමලු බව

1 තැනට නොහොබිනා තරවටුවක් ඇත්තේ ය.
නැණවත් මිනිසෙකු අඟවන නිශ්ශබ්දතාවයක් ද ඇත්තේ ය.
2 කෝපය තබාගැනීමට වඩා තරවටු කිරීම හොඳ ය.
3 වරද පිළිගන්න මිනිසා දඬුවම වළක්වන්නේ ය.
4 බලහත්කාරයෙන් යුක්තිය පසිඳාලන්නට තැත් කරන්නා, ස්ත්‍රියකගේ කන්‍යාභාවය නැති කරදමන්නට ආශා කරන නපුංසකයෙකුට සමාන ය.
5 මිනිසෙක් නිශ්ශබ්ද ව සිටීමෙන් නැණවතෙකු මෙන් සලකනු ලබන්නේ ය.
තවත් මිනිසෙක් ඔහුගේ දොඩමලුකම නිසා පිළිකුල් කරනු ලබන්නේ ය.
6 කෙනෙකු නිශ්ශබ්ද ව සිටින්නේ උත්තර දීමට ඔහු නොදන්නා බැවිනි.
තවත් මිනිසෙකු නිහඬ ව සිටින්නේ කතා කළ යුතු වේලාව ඔහු දන්නා බැවිනි.
7 නැණවත් මිනිසා සුදුසු මොහොත එන තෙක් නිහඬ ව සිටින්නේ ය.
එහෙත්, දොඩමලු අඥාන මිනිසා වැරදි මොහොත තෝරා ගන්නේ ය.
8 අධික ලෙස කතා කරන්නා පිළිකුල් කරනු ලැබීමට මඟ සලසා ගන්නේ ය.
අනිසි ලෙස තමාට ම බලය පවරා ගන්නා අය පිළිකුලට ලක් වන්නේ ය.

පරස්පර විරො‍්ධතා

9 එක මිනිසෙකුට තමාගේ විපතෙහි ඔහුගේ ශුභසිද්ධිය උදා වන්නේ ය.
ඇතැම් විට හදිසි ලාභයෙන් හානියක් සිදු වන්නේ ය.
10 ඔබට පලක් නැති ත්‍යාගිවන්තකම් ඇත්තේ ය.
ඔබට දෙගුණයක් උපදවා දෙන ත්‍යාගිවන්තකම් ද ඇත්තේ ය.
11 ඇතැම් විට මහිමය නින්දාවට මඟ පාදන්නේ ය.
පහත් තත්ත්වයක සිටින සමහරු හිස ඔසවන්නෝ ය.
12 මිනිසෙක් සුළු මුදලකින් බොහෝ දේවල් මිලයට ගන්නේ ය.
එහෙත්, ඔහු නියම ප්‍රමාණයට වඩා සත් ගුණයක් ගෙවන්නේ ය.
13 නැණවත් මිනිසා කාරුණික වචනවලින් ආදරය දිනාගන්නේ ය.
එහෙත්, මො‍්ඩයන්ගේ ත්‍යාගිවන්තකම් නිෂ්ඵල වන්නේ ය.
14 අඥානයාගේ තෑග්ගෙන් ඔබට කිසි ප්‍රයෝජනයක් නැත්තේ ය.
ඔහුගේ ඇස් සත් ගුණයක් ආපසු ලැබීමට ආශා කරන හෙයිනි.
15 ඔහු ස්වල්පයක් දී බොහෝ සේ ගරහන්නේ ය.
ඔහු අඬබෙරකාරයෙකු මෙන් මුඛය අරින්නේ ය.
ඔහු අද ණයට දෙන්නේ ය;
හෙට නැවත ඉල්ලන්නේ ය. ඔහු නින්දිත කෙනෙකි.
16 ”මට මිත්‍රයෙක් නැත්තේ ය, මාගේ උපකාරවලට කළගුණ සැලකීමක් නැත්තේ ය;
17 මාගේ කෑම කන්නෝ නපුරු දිවි ඇත්තෝ ය”යි අඥානයා කියයි.
කොපමණ දෙනෙක්, කොපමණ වරක් ඔහුට සරදම් කරන්නෝ ද?

නුසුදුසු කතා

18 කට වරදවාගැනීම පය ලිස්සා වැටීමට වඩා අයහපත් ය.
දුෂ්ටයෝ මෙලෙස හදිසියෙන් පැටලී වැටෙන්නෝ ය.
19 අශික්ෂිත මිනිසා වනාහි මන්ද බුද්ධිකයන් නැවත නැවතත් කියන අශිෂ්ට විහිළුවක් වැනි ය.
20 මො‍්ඩයාගේ මුඛයෙන් නික්මෙන උපදේශය නොපිළිගනු ලබන්නේ ය.
මන්ද, ඔහු එය යෝග්‍ය අවස්ථාවක නොකියන හෙයිනි.
21 දිළිඳුකම නිසා පව් කිරීමෙන් වැලකෙන මිනිසා දෙස බලන්න.
ඔහුගේ විවේක කාලයෙහි දී ඔහුගේ හෘදයෙහි දැවිල්ලක් නැත්තේ ය.
22 බොරු ලජ්ජාව නිසා විනාශ වන මිනිසා දෙස බලන්න.
අඥානයෙකුගේ මතයට ගරු කොට ඔහු තමා විනාශ කරගන්නේ ය.
23 බොරු ලජ්ජාව නිසා තම මිතුරාට පොරොන්දු දෙන මිනිසා දෙස බලන්න.
මෙසේ හේතුවක් නැතුව ඔහු තමාට සතුරෙකු ඇති කරගන්නේ ය.

බොරු කීම

24 බොරු කීම මිනිසෙකුට මහත් කැළලකි.
එය නිතර අඥානයන්ගේ මුවින් නික්මෙන්නේ ය.
25 මුල් බැසගත් බොරුකාරයෙකුට වඩා සොරා හොඳ ය;
එහෙත්, ඒ දෙදෙනා ම තමන්ගේ විනාශය කරා ගමන් කරන්නෝ ය.
26 බොරු කීම පිළිකුල් කටයුතු පුරුද්දකි.
බොරුකාරයාගේ අපකීර්තිය නිරතුරු ඔහු සමඟ එන්නේ ය.

ප්‍රඥාවන්තයාගේ මහිමය හා උවදුරු

27 ප්‍රඥාව අනුව කතා කරන්නා සමෘද්ධිමත් වන්නේ ය.
ඥානවන්ත මිනිසා උත්තමයන්ට ප්‍රිය වන්නේ ය.
28 ගොවිතැන් කරන්නා හොඳ අස්වැන්නක් නෙළා ගන්නේ ය.
උත්තමයන්ට ප්‍රිය ව සිටින්නා තමාගේ වැරදිවලට කමාව සලසාගන්නේ ය.
29 තෑගි සහ දීමනාවලින් නැණවතුන්ගේ ඇස් අන්ධ කරනු ලබන්නේ ය.
මුඛවාඩමක් මෙන් වූ ඒවා දොස් යටපත් කරන්නේ ය.
30 සඟවන ලද ප්‍රඥාවත් නොපෙනෙන නිධානයත් යන මේ දෙකින් ඇති ප්‍රයෝජනය කිමෙක් ද?
31 තම ප්‍රඥාව සඟවන මිනිසෙකුට වඩා තම මො‍්ඩකම සඟවන මිනිසා හොඳ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW