උපදේශකයා හෙවත් සිරාක් – 18 වන පරිච්ඡේදය –

දෙවියන් වහන්සේගේ උත්කෘෂ්ටතාව

1 සදාකාලයට ම ජීවත් වන තැනැන් වහන්සේ මුළු විශ්වය මැවූ සේක.
2 සමිඳාණෝ පමණක් දැහැමි වන සේක.
උන් වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැත.
3 සිය හස්තය මඟින් ලොවට මඟ පෙන්වන සේක.
සියල්ල උන් වහන්සේට කීකරු ය.
සියල්ලේ රජාණෝ උන් වහන්සේ ය;
සිය බලය මඟින් ශුද්ධ දේ, ශුද්ධ නොවන දෙයින් වෙන් කරන සේක.
4 තමන්ගේ කෘතීන් පළ කරන්නට උන් වහන්සේ බලය දුන්නේ කවරෙකුට ද?
උන් වහන්සේගේ අරුමපුදුම ක්‍රියා දැනගත්තේ කවරෙක් ද?
5 උන් වහන්සේගේ තේජො‍් බලය අගය කළ හැක්කේ කාට ද?
ඇරත්, උන් වහන්සේගේ දයා කරුණාව කවරෙකුට විස්තර කළ හැක්කේ ද?
6 එයින් කිසිවක් අඩු කළ නොහැකි ය.
එයට කිසිවක් එකතු කළ නොහැකි ය.
සමිඳුන්ගේ අරුමපුදුම ක්‍රියා අනාවරණය කරන්නට කිසිවෙකුට නුපුළුවන.
7 ඒවා ගැන දැනුමෙන් මිනිසා කෙළ පැමිණියත්, ඔහු තවමත් ආරම්භයෙහි සිටින්නේ ය.
ඔහු නවතින විට, එය තවමත් ඔහුට ප්‍රහේලිකාවක් වන්නේ ය.

මනුෂ්‍යයාගේ නිස්සාරකම

8 මනුෂ්‍යයා කවරෙක් ද?
ඔහුගේ පරමාර්ථය කුමක් ද?
ඔහුගේ යහපත කුමක් ද?
අයහපත කුමක් ද?
9 මිනිසාට නියමිත දවස් ගණන කොතෙක් ද?
ඉතා වැඩි වූවොත් අවුරුදු සියයකි.
10 මේ අවුරුදු ස්වල්පය සදාකාලය හා සසඳා බැලුවොත් එය මුහුදෙන් ගත් දිය බිඳක් මෙනි;
වැලි ඇටයක් මෙනි.
11 එහෙයින් සමිඳාණෝ ඔවුන් දැක ඉවසිලිමත් වන සේක;
ඔවුන් පිට තම කරුණාව වගුරුවන සේක.
12 ඔවුන්ගේ අවසානය කොපමණ දුඃඛිත දැ යි උන් වහන්සේ දකින සේක.
එහෙයින් උන් වහන්සේ තම කමාව වැඩි කරන සේක.
13 මනුෂ්‍යයාගේ අනුකම්පාව අසල්වැසියා කෙරෙහි ය.
එහෙත්, සමිඳුන්ගේ අනුකම්පාව සියලු සත්ත්වයන් කෙරෙහි ය.
උන් වහන්සේ තරවටු කරන සේක;
දඬුවම් කරන සේක;
උගන්වන සේක.
එඬේරා තම රැළ ගෙන යන්නාක් මෙන් ඔවුන් ආපසු ගෙන එන සේක.
14 වරද පිළිගන්න අයට ද උන් වහන්සේගේ විනිශ්චයයන් සොයන අයට ද උන් වහන්සේ දයානුකම්පාව දක්වන සේක.

දන් දීමේ සැබෑ ආකල්පය

15 මාගේ පුත්‍රය, ඔබේ යහපත් වැඩ අවලාදවලින් බාල නොකරන්න.
නුරුස්නා වචනවලින් ඔබේ දීමනාවල අගය අඩු නොකරන්න.
16 හිමෙන් ග්‍රීෂ්මය සන්සිඳෙනවා නොවේ ද?
එසේ ම ත්‍යාගයට වඩා වචනය අගනේ ය.
17 සැබැවින් ම, ත්‍යාගයට වඩා වචනය උතුම් ය.
එහෙත්, ත්‍යාගිවන්ත මිනිසා තුළ මෙම ගුණ දෙක ම ඇත්තේ ය.
18 අඥානයා නින්දාව හැර කිසිවක් නොදන්නේ ය.
අමනාපයෙන් දෙන මිනිසාගේ දීමනාව ඇස් රිදවන්නේ ය.

දූරදර්ශී ඥානය

19 කතා කරන්නට පෙර කරුණු සොයා බලන්න.
අසනීප වන්නට පෙර ඔබ ගැන පරිස්සම් වන්න.
20 විනිශ්චයයට පෙර සිත සෝදිසි කර බලන්න.
තීන්දුව ලැබෙන දිනයෙහි දී ඔබ නිදහස් වන්නෙහි ය.
21 රො‍්ගී වන්නට පෙර බැහැපත් වන්න.
ඔබ පව් කළොත් පසුතැවී සිත හරවා ගන්න.
22 ඔබේ බාරය නියම කලට ඉටු කිරීමට ඔබට කිසිවෙක් බාධා නොකෙරේ වා!
ඔබේ කටයුතු පිළියෙළ කිරීමට මරණය දක්වා බලා නොසිටින්න.
23 බාරයක් වන්නට පෙර සූදානම් වන්න, සමිඳුන් පරීක්ෂා කරන්නෙකු මෙන් නොවන්න.
24 අන්තිම දිනවල ඇති වන උදහස ගැන සිතන්න.
විනිශ්චය කරන ඒ මොහොතෙහි දෙවියන් වහන්සේ තම මුහුණ ඉවතට හරවන සේක.
25 සමෘද්ධි කාලයේ දී සාගත කාලය ගැන සිතන්න.
ධනවත් කාලයේ දී දිළිඳුකම ද අගහිඟකම ද සිහි කරන්න.
26 උදය හා සවස අතර කාලය ඉක්මනින් ගෙවෙන්නේ ය.
සමිඳුන් ඉදිරියෙහි සියලු දේ සැණෙන් ගෙවී යන්නේ ය.
27 ප්‍රඥාවන්තයා සියලු කාරණාවල දී විමසිලිමත් වන්නේ ය.
පාපයට පෙළඹෙන දවස්වල දී පව් නොකිරීමට ඔහු පරිස්සම් වන්නේ ය.
28 නැණවත් මිනිසා ප්‍රඥාව හඳුනා ගන්නේ ය;
එය සම්බ වූ අයට ගෞරව කරන්නේ ය.
29 දැනුම පිරි කියමන් අවබෝධ කරගන්නෝ ප්‍රඥාව සෙවීමෙහි යෙදුණෝ ය.
ඔව්හු කදිම උපදෙස් එළිදරව් කළො‍් ය.

ආත්ම දමනය

30 ඔබේ කාම තෘෂ්ණාවන් අනුව නොයන්න.
ඔබේ ආශාවන් හික්මවාගන්න.
31 පහත් ආශාවන්ට ගොදුරු වන්නට ඔබ ඉඩ දෙන්නෙහි නම්, ඔබ සතුරන්ගේ සිනහවට භාජන වන්නෙහි ය.
32 සැපවිහරණ ජීවිතයකින් සතුටු වන්නට නොසොයන්න.
එබඳු ඇසුරට අසු නොවන්න.
33 ඔබේ පසුම්බියෙහි දොයිතුවක් වත් නැති විට ණයට ගත් මුදලින් සාදයක් පවත්වා හිඟමනට නොබසින්න

Suba Asna - සුබ අස්න

FREE
VIEW