උපදේශකයා හෙවත් සිරාක් – 16 වන පරිච්ඡේදය –

දුදනන්ට ප්‍රතිවිපාක

1 වැදගැම්මකට නැති දරු කැලට ආශා නොකරන්න.
පවිටු දරුවන් කෙරෙහි ඔබේ ප්‍රීතිය නොතබන්න.
2 සමිඳාණන් කෙරෙහි ගරුබිය ඔවුන්ට නැත්තේ නම්, ඔවුන්ගේ ගණන කුමක් වුවත් ඔවුන් ගැන ප්‍රීති නොවන්න.
3 ඔවුන්ට දිගායු ඇති වේ ය යි බලාපොරොත්තු නොවන්න.
ඔවුන්ගේ අනාගතය කෙරෙහි දැඩි ලෙස විශ්වාසය නොතබන්න.
මන්ද, එක හොඳ දරුවෙකු සිටීම නරක දරුවන් දහසක් සිටීමට වඩා හොඳ ය.
අදමිටු දරුවන් ඇති ව සිටීමට වඩා දරුවන් නැති ව මියයාම හොඳ ය.
4 නැණවත් එක මිනිසෙකුට නුවරක් ජනාකීර්ණ කළ හැකි ය.
එහෙත්, දුෂ්ටයන්ගේ වංශය විනාශ කරනු ලබන්නේ ය.
5 මෙබඳු බොහෝ දේවල් මම මාගේ ඇස්වලින් දිටිමි.
මාගේ කන්වලින් මීට වඩා සිත්ගන්නා දේවල් ඇසීමි.
6 පව්කාරයන්ගේ සමාජයෙහි ගින්නක් දල්වනු ලබන්නේ ය.
මුරණ්ඩු ජාතියක් තුළ උදහස අවුළුවනු ලබන්නේ ය.
7 දෙවියන් වහන්සේ ආදි කාලයේ යෝධයන්ට කමා නොකළ සේක.
ඔව්හු තමන්ගේ බලය ගැන අහංකාරයෙන් කැරලි ගැසුවෝ ය.
8 උන් වහන්සේ ලොත් ජීවත් වූ නුවර ඉතුරු නොකළ සේක.
ඔවුන්ගේ උඩඟුව නිසා ඔවුන් පිළිකුල් කළ සේක.
9 විනාශයට නියම වූ ජාතියට උන් වහන්සේ අනුකම්පා නොකළ සේක.
ඔවුන්ගේ පව් නිසා ඔව්හු සහමුලින් විනාශ කරනු ලැබුවෝ ය.
10 පයින් ගමන් කළ මිනිසුන් සය ලක්ෂයක් එක්සත් වී මුරණ්ඩුකමින් කුමන්ත්‍රණය කළ විට, උන් වහන්සේ ඔවුන්ට අනුකම්පා නොකළ සේක.
11 එහි සිටියේ එක මුරණ්ඩු මිනිසෙක් පමණක් නම්, ඔහු දඬුවමක් නැති ව බේරුණා නම්, එය පුදුම දෙයක් විය හැකි ව තිබිණි.
මන්ද, දයාවත් උදහසත් උන් වහන්සේට අයිති ය.
කමාව දීමට උන් වහන්සේ බලසම්පන්න වන සේක;
උදහස වගුරුවන්නටත් ශක්තිමත් වන සේක.
12 උන් වහන්සේගේ දයාව මෙන් ම දැඩිකම ද මහත් ය.
උන් වහන්සේ මනුෂ්‍යයන්ගේ ක්‍රියා අනුව ඔවුන් විනිශ්චය කරන සේක.
13 පව්කාරයා තමාගේ අයුතු ලාභය සමඟ දඬුවම් නොලැබ නොයන්නේ ය.
උන් වහන්සේ දැහැමියාගේ ඉවසීම නිෂ්ඵල නොකරන සේක.
14 උන් වහන්සේ තමාගේ දයාව නිදහසේ පෙන්වන සේක.
එහෙත්, එක එක තැනැත්තේගේ ක්‍රියා අනුව ඔව්හු විපාක ලබන්නෝ ය.

පල දීම නිසැක බව

15 සමිඳාණෝ පාරාවෝ රජු හට තමන් නොපිළිගන්නා ලෙස මුරණ්ඩු වීමට ඉඩ දුන් සේක;
එසේ කෙළේ ලෝකයා සමිඳුන්ගේ ක්‍රියා දැනගන්නා පිණිස ය.
16 උන් වහන්සේ මුළු මැවිල්ලට දයාව පාන සේක;
ලඹ ලණුවකින් අඳුරින් ආලෝකය වෙන් කළ සේක.
17 ”සමිඳුන්ගෙන් බේරෙන්නට මම සැඟවෙන්නෙමි”යි නොකියන්න.
”ඉහළ සිට මා සිහි කරන්නේ කවරෙක් දැ”යි නොකියන්න.
”මහත් සමූහයක් මැද මම නාඳුනනු ලබන්නෙමි.
අතිවිශාල මැවිල්ල තුළ මම කුමක් දැ”යි නොකියන්න.
18 බලන්න, අහස ද උත්කෘෂ්ට මණ්ඩලය ද පතුලක් නැති ගැඹුර හා පොළොව ද උන් වහන්සේ දැකීමෙන් කම්පා වී සිටින්නේ ය.
19 කඳු හා පොළොවේ පදනම් ද උන් වහන්සේගේ බැල්මෙන් බිය වී දෙදරා යන්නේ ය.
20 එහෙත්, ඔව්හු මේ සියලු දේ ගැන මෙනෙහි නොකරන්නෝ ය.
උන් වහන්සේගේ මාර්ගයන් ගැන මෙනෙහි කරන්නේ කවරෙක් ද?
21 කුණාටු සුළඟ අදෘශ්‍යමාන ව පවතින්නේ ය.
එසේ ම ඔහුගේ ක්‍රියාවලින් බොහොමයක් අනාවරණය නොවන්නේ ය.
22 ගිවිසුම ඉතා දුර බැවින් ”යුක්තිය ඉටු විය” කියා ප්‍රකාශ කරන්නේ කවරෙක් ද?
එය බලාපොරොත්තු වන්නේ කවරෙක් ද?
23 මන්දබුද්ධික මිනිසා කල්පනා කරන්නේ මෙසේ ය.
අඥාන වූ, නොමඟ ගිය, රැවටිලිවලින් මුළා වූ, මිනිසා කල්පනා කරන්නේ මෙසේ ය.

මැවිල්ලෙහි ඒ ඒ කෘතීන්ට හිමි තැන

24 මාගේ පුත්‍රය, මට සවන් දෙන්න.
දැනගැන්ම ලබාගන්න.
ඔබේ මුළු සිත ම මාගේ වචන කෙරෙහි යොමු කරන්න.
25 මම ඔබට විනය දහම සියුම් ලෙස එළිදරව් කරන්නෙමි.
දැනුම පැහැදිලි ලෙස ප්‍රකාශ කරන්නෙමි.
26 දෙවියන් වහන්සේ ආරම්භයේ දී තම කෘතීන් මැවූ කෙණෙහි ම, ඒ හැම දේට ම තැනක් නියම කළ සේක.
27 උන් වහන්සේ තම කෘතීන් සදහට ම පිළියෙළ කළ සේක.
ආරම්භයේ පටන් අවසානය දක්වා ඒවා පිළියෙළ කළ සේක.
ඒවාට සාගින්නක් හො‍් වෙහෙසක් හො‍් නොදැනෙන්නේ ය.
ඒවා තමන්ගේ යුතුකම් කිසි කලක පැහැර නොහරින්නේ ය.
28 ඒවායින් එකක් කිසි කලක තවෙකක නොහැපුණේ ය.
ඒවා උන් වහන්සේගේ වචනයට කිසි කලක අකීකරු නොවන්නේ ය.
29 එතැන් සිට සමිඳාණෝ පොළොව දෙස බැලූ සේක.
උන් වහන්සේ යහපත් දේවලින් එය පිරෙවු සේක.
30 පොළොව මතුපිට උන් වහන්සේ සියලු ආකාර සතුන් ඇති වන්නට සැලැසූ සේක.
එම සත්තු නැවත පොළොවට හැරී යන්නෝ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW