උපදේශකයා හෙවත් සිරාක් – 12 වන පරිච්ඡේදය –

යහපත කිරීමට ඔවදන්

1 ඔබ උපකාරයක් කරන විට එය කරන්නේ කවරෙකුට දැ යි දැනගන්න.
එවිට ඔබේ උපකාරය නිෂ්ඵල නොවන්නේ ය.
2 දැහැමියෙකුට යහපත කරන්න, ඔබට විපාකයක් ලැබෙන්නේ ය;
ඔහුගෙන් ම නොවේ නම්, මහො‍්ත්තමයාණන් වහන්සේගෙන් එය ලැබෙන්නේ ය.
3 නපුරෙහි එල්බ සිටින්නා වූ ද දන් දීමක් නොකරන්නා වූ ද මිනිසාට යහපතක් සිදු නොවන්නේ ය.
4 බැතිමත් මිනිසාට දෙන්න.
පව්කාරයාට උදව් නොකරන්න.
5 බැහැපත් මිනිසාට යහපත කරන්න.
අධර්මිෂ්ඨයාට කිසිවක් නොදෙන්න.
ඔහුට ආහාර ප්‍රතික්ෂේප කරන්න.
එය ඔහුට නොදෙන්න.
ඔහු එයින් ඔබට වඩා ශක්තිමත් විය හැකි යි.
ඔබ ඔහු සතුටු කිරීමට කළ සියලු උපකාර වෙනුවට දුෂ්ටකම් දෙගුණයක් ඔහු ඔබට දෙනු ඇත.
6 මහො‍්ත්තමයාණන් වහන්සේ පවිටුන් පිළිකුල් කරන සේක.
උන් වහන්සේ ඔවුන් පිට දඬුවම් හෙළන සේක.
7 යහපත් මිනිසාට දෙන්න.
පව්කාරයෙකුට උදව් නොකරන්න.

සැබෑ මිතුරො‍් සහ ව්‍යාජ මිතුරො‍්

8 ඔබ සමෘද්ධිමත් ව සිටින විට සැබෑ මිතුරෙකු හඳුනාගත නොහැකි ය.
ඔබ විපතට වැටුණු විට සතුරෙකු වරද්දාගත නොහැකි ය.
9 මිනිසෙකු සමෘද්ධිමත් ව සිටින විට ඔහුගේ සතුරො‍් ශෝක වන්නෝ ය.
ඔහු විපතට පත් වූ විට ඔහුගේ මිතුරා පවා ඔහු අත්හැර යන්නේ ය.
10 සතුරා කෙරෙහි විශ්වාසය නොතබන්න.
තඹවල දිස්නය මෙන් ඔහුගේ දුෂ්ටකම ද වන්නේ ය.
11 ඔහු බැහැපත් වී ඇකිළෙමින් ඔබ වෙත ආවත් පරෙස්සමින් සිටින්න.
ඔහු කෙරෙහි විශ්වාසය නොතබන්න.
ඔබ කැටපතක් ඔප දමමින් සිටින්නාක් මෙන් හැසිරෙන්න.
ඔහුගේ දිස්නය වැඩි කල් නොපවතින බව දැනගන්න.
12 ඔහු ඔබ ළඟ සිටුවා නොගන්න.
ඔබ පෙරළාදමා ඔබේ තැන ගන්නට ඔහුට හැකි ය.
ඔහු ඔබේ දකුණෙහි වාඩි නොකරවන්න.
ඔබේ ආසනය පැහැරගන්නට ඔහු උත්සාහ කරනු ඇත.
අන්තිමේ දී ඔබ මාගේ වචනවල අර්ථය වටහාගන්නෙහි ය;
මා කී දේ ගැන කියමින් පසුතැවිලි වන්නෙහි ය.
13 සර්පයා විසින් දෂ්ට කරන ලද මන්ත්‍රකාරයාට අනුකම්පා කරන්නේ කවරෙක් ද?
නැතහොත්, රුදුරු වන සතුන්ට කැමැත්තෙන් ම මුහුණ පාන අයට අනුකම්පා කරන්නේ කවරෙක් ද?
14 පව්කාරයෙකු සමඟ සමාගම් පවත්වන්නා වූ ද ඔහුගේ පාපවලට හවුල් වන්නා වූ ද තැනැත්තා ගැනත් එසේ ම වන්නේ ය.
15 ඔබ ස්ථිර ව සිටින තෙක් ඔහු තමා හෙළි නොකරන්නේ ය.
එහෙත්, ඔබ මඳක් සෙලවුණොත්, ඔහු එහි වාසිය ලබාගන්නේ ය.
16 සතුරාගේ මුවෙහි ඇත්තේ මිහිරකි;
එහෙත්, ඔහුගේ සිතෙහි ඇත්තේ ඔබ වළට විසි කිරීමේ අරමුණකි.
සතුරාගේ ඇස්වල කඳුළු තිබෙන්නට පුළුවන.
එහෙත්, ඔහුට ඉඩ ලැබුණොත් ලෙයින් පවා ඔහු තෘප්තියට නොපැමිණෙන්නේ ය.
17 ඔබට විපතක් සිදු වුවහොත්, ඔබ ඉදිරියෙහි ඔහු සිටින්නේ ය.
ඔබට උදව් වන බව අඟවමින් ඔබ වැටෙන්නට සලසන්නේ ය.
18 ඔහු හිස වන වනා අත්පොළසන් දෙන්නේ ය.
ඔහු කොඳුරමින් සෙමින් වෙනස් වන්නේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW