22 ඔව්හු බෙත්සයිදාවට පැමිණියහ. එවිට ඇතැමෙක් උන් වහන්සේ වෙත අන්ධයෙකු ගෙනවුත් ඔහු පිට අත් තබන මෙන් ආයාචනා කළහ. 23 උන් වහන්සේ අන්ධයා අතින් අල්ලාගෙන ගමෙන් පිටතට ගෙන ගොස්, ඔහුගේ ඇස්වල කෙළ තවරා, ඔහු පිට අත් තබා, ”ඔබට කිසිවක් පෙනේ දැ”යි ඇසූ සේක. 24 ඔහු ද ඇස් ඔසවා, ”මිනිස්සු මට පෙනේ; ඔව්හු ගස් වාගේ ය; ඔවුන් ඇවිදිනු මට පෙනේ” යයි කී ය. 25 උන් වහන්සේ ඔහුගේ ඇස් පිට යළිත් අත් තැබූ සේක. එවිට ඔහු ඕනෑකමින් බැලී ය; පෙනුම ලැබී ය; සියල්ල පැහැදිලි ලෙස දිටී ය. 26 උන් වහන්සේ ඔහු ගෙදර පිටත් කර යවමින්, ”ගමේ කිසිවෙකුට මේ ගැන නොකියන්නැ”යි වදාළ සේක.