
එදා ජේසුස් වහන්සේගේ නික්මයෑම ගැන සොවින් තැවුණු ගෝලයින්ට උනවහන්සේගෙන් ලැබෙන්නේ බලාපොරොත්තුවේ පණිවුඩයක්. එනම් සහනදායකයාණන් වහන්සේ එනම් ශුද්ධාත්මයාණන් වහන්සේගේ පැමිණීමයි. උන්වහන්සේගේ බලය ලැබූ ඔවුහු කිසි බියක් නැතුව ලොව පුරා ගොස් ජේසුස් වහන්සේගේ දහම ප්‍රචාරය කරන්නට යොමු උනා.
බලන්න ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය. ඒ බලය ඔබත් අත් දකිනවාද ? සමහර කිතුනුවන්ට ශුද්ධාත්මයාණන් වහන්සේව මතකවත් නැහැ. ඔබත් ඒ අතර සිටින කිතුනුවෙක්ද ? වෙනස් වෙන්න. ශුද්ධත්මාගමන මංගල්‍යය සමරන අද දින සිටවත් ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය අත්දකින්න මග හෙළි කර ගන්න. ඔබේ දිනපතා යාච්ඤාව තුළ උන්වහන්සේට ආරාධනා කරන්න. ශුද්ධාත්ම දීමනා වලින් ඔබව පුරවන්න කියා යදින්න. ජීවිතය උන්වහන්සේට බාර දෙන්න උන්වහන්සේගේ බලය තුළ ඔබව මෙහෙයවන්න කියා.
ඔබගේ ශරීරය, ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ, ඔබ තුළ වැඩ වසන ශුද්ධාත්මයාණන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නහු ද? ඔබ ඔබට ම අයිති නැත. ” ( 1 කොරෙන්ති 6 : 19 )
ඔබේ ශරීරය ඔබටයි අයිතිද ? ඔබ කියයි ඔව් මගේ ශරිරයනේ කියල. ඒත් ඇත්තටම ඔබේ ශරීරය ඔබට අයිති නැහැ. බලන්න මේ කොරෝනා වසන්ගතය. අපි කවුරුවත් කැමති නැහැ ඔය වෛරසය ශරීරයට එනවට. ඒත් සමහර විට අපි නොදැනුවත්වම ඇවිත් අපිට අපේ ශරීරය කියල හිතන් ඉන්න එක අපිට පාලනය කරන්න බැරි වෙනවා. මේක හොද නිදසුනක් අපේ ශරීරය අපිට අයිති නැහැ කියන එකට. අපේ මේ ලෝකයට අපේ ආත්මය එන්න යොදා ගත්ත දෙයක් විතරයි මේ ශරීරය.
මේ ශරීරය දෙවියන් වහන්සේ අපිට දුන්න ශුද්ධාත්මයාණන්ගේ මන්දිරයක්. මේ මන්දිරය තුළ උන්වහන්සේව ජීවත් කරවනවද , නැත්නම් යක්ෂයාට ඉඩ දෙනවාද කියන එක අනුව තමයි මරණින් පසුව අපේ ආත්මයට ලැබෙන ප්‍රථිපලය තීරණය වෙන්නේ.
ඉතින් අද අපි සමරන ශුද්ධාත්මයාණන්ගේ මංගල්‍යය දිනට සුදානම් වන අද දින අපිට ජේසු කියන්නේ අපේ වරද පිළිගෙන වෙනස් වෙන්න. ශරීරය පිනවන පාපයට නොව, ශුද්ධාත්මයාණන් ජීවත් වන මන්දිරයක් බවට ඔබේ ශරීරය පත්කරගන්න. අපේ මේ ලෝකයේ ජීවිතය හරි කෙටියි. කොයි මොහොතේ මේ ලෝකයෙන් යන්න වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ඔබේ ශරීරය පාපයේ මන්දිරයක් නොව ශුද්ධාත්මයාණන්ගේ මන්දිරයක් කර ගන්න. අන්න එවිට අපිට මේ ලෝකයෙන් කොයි වෙලේ ගියත් බය නැතිව යන්න පුළුවන් වෙනවා.