අද මරද මඩු මෑණියන්ගේ මංගල්‍යය දිනයි

කිතුනු දිවිය වනාහි වන්දනා ගමනකි. ස්වර්ගීය ජෙරුසලම කරා ඇ දී යන්නාවූ වන්දනා නඩයකි, සංඝයකි, සභාවකි. මෙම වන්දනා ගමනේ පූර්ණත්වය වන්නේ වතට වත දී ජේසු සමිඳාණන්ගේ සිරි වත මඩල දැකීමේ භාග්‍යයයි. සෑම කිතුනුවකු ම මෙලොව දිවි ගෙවන්නේද, දිවිය ගෙවිය යුත්තේද, එකී යථාර්ථය පසක් කරගනිමින්ය.

ශතවර්ෂ ගණනාවක් පුරා ලාංකේය කිතුනු ජීවිතය තුළ මඩු වන්දනා ගමන දම්වැලක පුරුක් මෙන්ද, ලෝහයක් කාන්දමක් කරා ඇ දී එන්නා සේ ද ගසට පොත්නක් මෙන් බැඳී පවතින්නේය. මේ සිද්ධස්ථානයේ චතාරික මංගල්‍යය පිළිබඳ සහ අද පවා සැදැහැවතුන්ගේ අවධානයට සහ දැනුමට යොමු නොවී ඇති අද පැවැත්වෙන (ජුලි 02) මහා මංගල්‍යය සහ එහි ඉතිහාසය පිළිබඳ ද අපගේ අවධානය යොමු කරලීම වැදගත් යැයි බලාපොරොත්තු වෙමු.

සොළොස් වන ශතවර්ෂයේ දී “යාල්පානම්” නමින් සුප්‍රකට යාපන රාජධානියේ පිහිටි මාන්තොට නම් ඓතිහාසික නැව් තොටට මායිම් ව පිහිටා ඇති මෙම සිද්ධස්ථානය ප්‍රබල ඉතිහාසයකට නෑකම් කියන්නේය. ඉතිහාසමය දත්තයන්ට අනුව පෘතුගීසි ආගමනයට පෙරාතුවම මේ ප්‍රදේශයේ කිතුනුවන් සිටි බව තහවුරු වී ඇත. ක්‍රි.ව. 1544 දී දකුණු ඉන්දියාවේ ධර්මදානයෙහිලා නියුතු වුන් ශු. ප්‍රැන්සිස් සාවියෙර් මුනිඳුන්ගේ දේශනාවලට සවන් දුන් මන්නාරම් වැසියෝ මන්නාරම්දූපතට පැමිණ ඔවුන්හට ධර්මදූත සේවාවෙහි යෙදෙන ලෙස එතුමාගෙන් ඉල්ලා සිටියේය. එහෙත් අධික වැඩ රාජකාරි තිබුණෙන් එතුමාට මන්නාරමට ඒමට නොහැකි විය. එහෙත් ප්‍රැන්සිස් නම දැරූ වෙනත් පියතුමෙකු මන්නාරමට එවා එහි ජනයාට දේශනා කොට 1000 කට වඩා අධික සංඛ්‍යාවක් බෞතිස්ම කළේය.

ඇතැම් ඉතිහාසඥයන් පවසන්නේ මේ පියතුමා ගරු ජුවන් ද ලිසානෝ පියතුමන් බවයි. මෙලෙස මන්නාරම ප්‍රදේශය කිතුනු ජනපදයක් වීම තම රාජ්‍යත්වයට මෙන්ම රාජධානියට බලවත් තර්ජනයක් ලෙස සැලකු ආර්යචක්‍රවර්ති රජපරපුරේ අවසන් රජු වු සංකිලි හෙවත් පරරාජසේකරන් රජු තම සේනාව යවා මන්නාරමට නුදුරු තෝට්ටවේලි ප්‍රදේශයේ 600 කට වඩා කතෝලික පිරිසක් සමූහ ලෙස ඝාතනය කරන ලදී. ඔවුන් භුමදානය කළ සොහොන අදත් ප්‍රාණපරිත්‍යාගීන්ගේ සිද්ධස්ථානය නම් ස්ථානයේ දක්නට ලැබේ. එහෙත් කතෝලික ලබ්ධිය මන්නාරමෙන්ද වන්නියෙන් ද තුරන් කළ නොහැකි විය. මන්ද ප්‍රාණපරිත්‍යාගීන්ගේ රුධිරය වනාහි කිතුදහමේ ව්‍යාප්තිය වන බැවිනි

මරුද මඩු මෑණියන්ගේ පළමු නිවහන

මන්නාරමේ වේදසාක්‍ෂිවරුන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් පසුව පෘතුගීසින් මන්නාරම දුපත පමණක් නොව යාපන අර්ධද්වීපයේ ද තම බලය ව්‍යාප්ත කරන්නට සමත්වූවෝය. ක්‍රි.ව. 1560 සිට ප්‍රථමයෙන් ප්‍රැන්සිස්කාන නිකායික සේවයෙන්ද පසුව ජේසු නිකායික (දකුණු ඉන්දීය) ධර්මදුතවරුන්ගේ ධර්මදාන සේවයේද ප්‍රතිඵලයක් ලෙස මන්නාරමේ කිතුදහම ව්‍යාප්ත වුණි. එම නිසා ක්‍රි.ව. 1560 සිට මන්නාරමේ කිතුදහමට සවිමත් පදනමක් වැටුණි.මෙහි පළමු බලකොටුව ක්‍රි.ව. 1560 දී නිර්මාණය වූ අතර එය “ පරිශුද්ධ දේවමාතාවන් වූ මරියෝත්ත්මාවන් ”‍ වෙනුවෙන් කැපවුණි. මෙහි සේවය කරන ලද පළමු ජේසු නිකායික පිරිස ලෙස සඳහන් වන්නේ අන්රිකුවේ ඇන්රික්ස්, ජෙරනිමෝ ද වාස් ක්වෙක්වා සහ දියෝගු ද සොවරල් යන පූජාප්‍රසාදීවරු ද මුල්කොටගත් සහෝදරතුමන්ලා දෙනමක් සහ ආධුනික සොයුරෙක්ය. පෘතුගීසි වාර්තාවලට අනුව සඳහන් වන්නේ “මන්නාරම් දූපතේ ප්‍රැන්සිස්කාන සහ ජේසු නිකායික ධර්මදුතික මධ්‍යස්ථාන සහ දේවස්ථාන 11ක් පැවැති බවත් ඉන් 06ක් ජේසු නිකායටද, ඉතිරි 05 ප්‍රැන්සිස්කාන නිකායද සතුව පවතින බවයි.

මේවා අතුරින් ජේසු නිකාය සතු විද්‍යාලයක් සහ රෝහලක් ද මන්නාරමේ පැවතිණි.මෙහිවූ ප්‍රැන්සිස්කාන නිකාය සතුව පැවැති මධ්‍යස්ථාන සහ දේවස්ථාන වන්නේ අරිප්පු, නානද්දන්, මාන්තෙයි, පොරෙයෙන්කුලම් සහ මන්නාරම වන අතර ජේසු නිකාය සතුව පැවැති මධ්‍යස්ථාන සහ දේවස්ථාන වන්නේ තලෙයිමන්නාරම, පේසාලෙයි, තොට්ටවෙලි, කරිසල්, එරුක්කලාම්පිඩ්ඩි සහ සැන් පෙඩ්රෝ යන ස්ථාන වේ. මේ ස්ථාන අතුරින් මන්නාරමට කිලෝමීටර 05ක් උතුරින් පිහිටා තිබු “මාන්තෙයි”‍ දේවස්ථානයට හිමි වූයේ සුවිශේෂී ස්ථානකි. සුප්‍රකට ඉතිහාසඥ ක්වේරෝස් හා ත්‍රින්දාදීගේ වාර්තාවන්ට අනුව ‍ක්‍රි.ව. 1591 වන විට ප්‍රැන්සිස්කාන මාන්තෙයි නමින් මන්නාරමට නුදුරින් පිහිටා තිබූ දෙව්මැදුර ආරෝග්‍ය දේවමාතාවන්ට කැපවු දේවස්ථානයක් තිබූ බව සඳහන් කරයි.

අද මරුද මඩු ජපමාල මාතාවන් ලෙස හදුන්වන ඓතිහාසික ප්‍රතිමාවේ මුල් නිජබිම වන්නේ මේ දේවස්ථානයයි. තවද පෘතුගීසි ලේඛන සහ වාර්තාවන්ට අනුව මන්නාරමේ විසූ කිතුනුවෝ බොහොමයක් අද මෙන් එදාත් ධීවර රැකියාවේ නියුතු වූ පිරිස්ය. එමෙන්ම දහම කෙරේ ප්‍රබල ඇදහිල්ලක් සහ ලැදියාවක් ඔවුන් කෙරේ පැවැති අතර, ඔවුහු සක්‍රමේන්තු ලබා ගනිමින්ද, දිව්‍ය පූජාවන්ට සහාභාගී වෙමින්ද, භක්ති අභ්‍යාස සිදුකරමින්ද ක්‍රියා කළ බව සඳහන් කරන අතර මේ සෑම ක්‍රියාවලියක පදනම සහ ජීවනාලිය මන්නාරමේ වේදසාක්ෂිවරුන් බව ද සදහන් කරයි. තවද මේ යුගයේ දී ධර්මදානයේ නියුතු ධර්මදූතවරුන් ද සිය සිල්වත් සහ ශුද්ධවත් දිවිය මුල්කරගෙන දේවජනතාවට මාංශගතවූ බවත් ඇතැම් විට බීමට පවා ජලය නොමැති අවස්ථාවල දී ලුණු මිශ්‍ර කලපු ජලය වුවද පානය කරන්නට ඔවුන් නොපැකිල වූ බවත් සදහන් වේ.

Suba Asna - සුබ අස්න

FREE
VIEW