1 ”ස්වර්ග රාජ්‍යය මෙසේ උපමා කළ හැකි ය. තෙල් පහන් රැගෙන මනාලයා පෙරමඟට යුවතියෝ දස දෙනෙක් ගියෝ ය. 2 ඔවුන් අතරෙන් පස් දෙනෙක් නුවණ නැති අය ය; පස් දෙනෙක් නුවණ ඇති අය ය. 3 නුවණ නැති අය සිය පහන් ගෙන යද්දී ඒ සමඟ තෙල් ගෙන ගියේ නැත. 4 එහෙත්, නුවණ ඇති අය සිය පහන් ගෙන යද්දී ඒ සමඟ බඳුන්හි තෙල් ගෙන ගියහ. 5 මනාලයාගේ පැමිණීම පමා වූ කල ඒ සියල්ලෝ ම නිදිබර වී නිදාගත්හ.
6 ”මධ්‍යම රාත්‍රියේ ‘අන්න, මනාලයා! ඔහු පෙරමඟට යන්නැ’යි හඬක් විය. 7 එවිට ඒ සියලු යුවතියෝ නැඟිට සිය පහන්වල තිර සකස් කළහ. 8 එකල නුවණ නැති අය, ‘අපේ පහන් නිවීගන යයි, ඔබගේ තෙල්වලින් ටිකක් අපට දෙන්නැ’යි නුවණ ඇති අයට කී හ. 9 එහෙත්, නුවණ ඇති අය, ‘එසේ කළ නොහැක; අප දෙගොල්ලන්ට ම සෑහෙන තරම් තෙල් මෙහි නැත; එබැවින් වෙළෙඳුන් වෙත ගොස් ඔබ ම මිල දී තෙල් ගන්නැ’යි පිළිතුරු දුන්හ. 10 ඔවුන් ගිය පසු මනාලයා ආවේ ය; සූදානම් ව සිටි පස් දෙනා ඔහු හා සමඟ මංගලෝත්සවයට ගියහ. ඔවුන් ඇතුළු වූ විට දොර වසන ලදී.
11 ”පසුව අනිත් යුවතියෝ අවුත්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපට දොර ඇරිය මැනවැ’යි කී හ. 12 එහෙත් මනාලයා ‘මම ඔබ කිසි සේත් නොහඳුනමි’යි පිළිතුරු දුන්නේ ය. 13 එබැවින් දවස වත්, පැය වත් ඔබ නොදන්න නිසා අවදි ව ඉන්න.”