ගීතාවලිය – 48 වන පරිච්ඡේදය –

දෙව් නුවර තේජස

ගීතයකි. කෝරාගේ පුත්‍රයන්ට ගීතයකි.
1 අප දෙව් නුවර වන එතුමන්ගේ ශුද්ධ කන්දෙහි හිමි තුමාණෝ උදාර ය.
විපුල පැසසුම් ලද යුතු ය.
2 උතුරු දෙසින් වන, මහ රජුගේ නුවර වූ සියොන් කන්ද උස මහතින් මනරම් ය;
මුළු පොළොවට පියකරු ය.
3 නුවර බලකොටු ඇතුළෙහි සුරැකි ව විසිය හැකි බව, දෙවි තුමන් පෙන්වා දී ඇත.
4 රජවරුන් රාශිභූත ව, නුවරට එරෙහි ව සටනට යන හැටි නරඹන්න;
5 ඔව්හු එනුවර නරඹා විස්මිත වූ හ;
බියෙන් තැති ගෙන පලා ගියහ;
6 ඔව්හු බියෙන් හා සන්තාපයෙන් ඇලළී, ප්‍රසූතියට ළං වූ කතුන් මෙන් වූ හ;
7 තද කුණාටුවට අසු වී, සැලෙන, පෙරළෙන මහ නැව් මෙන් වූ හ.
8 අප පෙර කල ඇසූ විලස, සව් බලැති සමිඳාණන් සිය නුවරෙහි සිදු කළ දෙය
අපේ ම දෙනෙතින් දුටිමු.
එතුමාණෝ එනුවර සදහට ම රක්නා සේක.
9 දෙවිඳුනි, ඔබ මැදුරෙහි ඔබේ තිර පෙම්කඳ අපි සිහි කෙළෙමු.
10 දෙවිඳුනි, ඔබට හිමි ගරු පැසසුම් දස දෙසින් ඔබ වෙත නැඟී එයි.
ඔබේ කිතු ගොස පොළොව පුරා පැතිර ඇත.
ඔබ සාධාරණ ලෙස රජ කරන සේක.
11 ඔබේ සාධාරණ විනිසයන් නිසා සියොන් කන්දේ වැසියෝ සතුටින් පිනා යත් වා!
ජුදාහි නුවරවල ප්‍රීති ගීත ඇසේ වා!
12 මතු පරම්පරාවලට කරුණු කියන පිණිස සියොන් පව්ව වටේ ඇවිද බලන්න;
13 එහි කොටු පවුරු හොඳින් බලා ගණන් කරන්න;
මාලිගා සො‍්දිසි කරන්න.
14 මේ දෙවිඳාණෝ සදහට ම අපේ දෙවිඳාණෝ ය;
”ඉර හඳ පවතින තුරු එතුමාණෝ අපට මඟපෙන්වන සේකැ”යි කියන්න.